ශ්‍රීලනිප නව ආසන සංවිධායක තේරීම අරඹයි – මහින්දවාදීන්ට රතු එළියක්

maithripala-Mahinda

ශ්‍රීලනිප නව ආසන සංවිධායකයන් තේරීම සදහා පත් කළ කමිටුවකින් අද සිට එම කමිටුව සදහා යෝජනා වී ඇති නම් හා අයදුම්පත් සැලකිල්ලට ගෙන නව ආසන සංවිධායකයන් ඉතා ඉක්මනින් පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මාධ්‍ය වෙත අද හස් පළ කර ඇත.

නව ආසන සංවිධායකයන් තේරීමේ සම්මුඛ සාකචඡා සදහා හිටිපු අගමැති දි.මු. ජයරත්න හා හිටපු ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා අතාවුද සෙෙනවිරත්න, හා ජගත් පුෂ්ප කුමාර යන කමිට සාමාජිකයින් ඒ සදහා පත්කර ඇති බවද දුමින්ද දිසානායක එහිදී වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් මැයි දිනයට සතියකට පෙර නව ආසන සංවිධායකයන් පත් කිරීම මගින් ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගීවීමට මහින්ද පාර්ශවය සමග කටයුතු කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු හා සංවිධායකවරුන්ට මෛත්‍රී පාර්ශවය විසින් කරන ලද අනතුරු අගවීමක් ලෙස මෙම නව ආසන සංවිධායකයන් හිටි හැටියේ පත් කිරීමට යාම සැලකිය හැකි බව දේශපාලන අංශවල කතා බහට පත්ව ඇත.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ට මේ වන විට ශ්‍රීලනිප නායකත්වය බාර ගැනීමට ආරධනා කරන ලද අය විසින්ම කරනු ලබන අකුල් හෙළීම් හා කකුලෙන් ඇදීම් සම්බන්දව පවසා ඇත්තේ මෙවන් තත්වයක් ඇතිවන බව තමාට කල් තියා දැනගැනීමට හැකිවූයේ නම් තමන් ශ්‍රීලනිප පක්ෂ නායකත්වය බාර නොගන්නා බවය.

නමුත් දැන් තමා ශ්‍රීලනිප නායකත්වයට සියලු දෙනෙගේම කැමැත්තේන පත්ව ඇති බැවින් මොන අභියෝග ආවත් ඒවාට මුහුදීමට හැකි බවත් කුමන බාධක ආවත් පක්ෂ නායකයා ලෙස එය බාර ගන්නට තමන් පසුබට නොවන බවත් එහිදී පවසා තිබුනි. පසුගිය සතිය තුළ දක්නට ලැබුනු මෙම දේශපාලන මතවාදයට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ශ්‍රීලනිපය තුල මෙම නව ආසන සංවිධායකවරු පත් කිරීමට කටයුතු කිරීම හරහාම අත් දකින්ට ලැබෙන බව පෙනීයයි.

මැයි දිනයට පෙරම මහින්වාදීන්ට තම තරම පෙන්වීමට මෛත්‍රී පාර්ශවය කටයුතු කර ඇති බව මෙම සිදුවීමෙන් පෙනී යන බව මෙම දේශපාලන සිදුවීම් පෙල හරහා හදුනා ගත හැක.