සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් අද 26 කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලනය සම්බන්ධයෙන් සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සහ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අර්බුදය සම්බන්දයෙන් දැණුවත් කිරීමක් සිදු කළා. මේ අවස්ථාව සඳහා සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක, එහි උප ලේකම් වෛද්‍ය ජයන්ත රාජපක්ෂ සහ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ සම්බන්ධ වුණා.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ගිෂාන්ත දසනායක විසින් දැනට ඔෂධ නියාමන අධිකාරියේ පරිපාලනය සම්බන්දයේ මතු වී ඇති තත්වය පිළිබඳ සවිස්තර කරුණු පැහැදිළි කිරීමක් කළා.
ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ මහාචාර්ය සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන්න උත්සහ කළා. නමුත් එය සාර්ථක වුණේ නෑ. මෙම ප‍්‍රථිපත්තියේ මූලිකම අංගය තමයි වෙළෙඳ නාම භාවිතයෙන් සිදු කරන සූරාකෑමට වැට බැඳීම. එනම් වෙළෙඳ නාමය වෙනුවට ඖෂධීය නාමය භාවිතා කිරීමෙන් එකම ඖෂධ විවිධ වෙළඳ නාම යටතේ ඉදිරිපත් කර කෙරෙන සූරාකෑම නැවැත්වීම. එසේම ලංකාව තුළ රජය මැදිහත්වී ඖෂධ නිපදවීම හා බෙදාහැරීම සිදු කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවය තහවුරු කිරීම.
මේ අතර වත්මන් ආණ්ඩුව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරි’ පනත නමින් පනතක් ගෙනආවා. ඔවුන් කීවේ මෙහි අඩංගු වන්නේ සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය කියා. නමුත් වෛද්‍ය ගිෂාන්ත දසනායක සඳහන් කළ ආකාරය ඔවුන්ගේ සංගමය මුල සිටම මෙම ගෙන එන ප‍්‍රථිපත්තිය සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය නොවන බවත් මේ හරහා ලංකාවේ ඖෂධ මිල අඩු නොවන බවටත් ආණ්ඩුවට චෝදනා කළා.
දැන් ඒ කරුණු සනාත වෙමින් යන බව වෛද්‍ය ගිෂාන්ත දසනායක මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා.
ඖෂධ හරහා කෙරෙන සූරාකෑම පිළිබඳ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ වෛද්‍ය ගිෂාන්ත දසනායක එදා සේනක බිබිලේ සිටි කාලයටත් වඩා එහාට යමින් මෙකී සූරාකෑම ව්‍යාප්ත වී ඇති ආකාරය පැහැදිළි කළා.
‘දැන් ඖෂධ හරහා කෙරෙන සූරාකෑම මාන කිහිපයකින් ඉදිරියට ගිහින් තියෙනවා.
01. ඖෂධ ශාලාවල දායකත්වයෙන් කෙරෙන සූරාකෑම.
02. ඖෂධ වර්ග, ඖෂධ නොවන ආහාරමය ද්‍රව්‍ය ලෙස වෙළෙඳපොලට ඉදිරිපත් කිරීම.
03. බාල ඖෂධ වර්ග විකිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්න්ධව නිලධාරීන් හා ඇමතිවරයා හරහා සිදු කරන මැදිහත්වීම.
මහාචාර්ය බිබිලේ ගේ සමයේ ඔහු අවධානය යොමු කළේ වෙළෙඳ නාමය භාවිතා නොකිරීමෙන් සිදු වන සූරාකෑම ගැනයි. සැබැවින්ම මේ පනත කියන්නේ ඖෂධ නාමය හැර වෙළෙඳ නාමය යොදා ගනිමින් කෙරෙන සූරාකෑම නීතිගත කරන පනතක්. ඒකයි අපි මේකට විරුද්ධ වුනේ.
කොහොමවුනත් දැන් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා. ඖෂධ අධිකාරියක් පිහිටුවලා තියෙනවා.
ඊට ප‍්‍රධාන විධායක නිලධාරිවරයෙක්, සභාපතිවරයෙක්, කමිටුවක් පත්කරලා තියෙනවා.
ඇමතිවරයා ඒ දවස්වල කිව්වේ සති දෙකෙන් ඖෂධ මිල බස්සනවා කියලා. නමුත් පසුගිය සතිය දක්වාත් ඖෂධ මිල වැඩි වුණා මිසක් අඩු වුනේ නෑ.’
මේ අතර මෙම අධිකාරිය සඳහා ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නමගිය මහාචාර්යවරුන් පත්කරගත් බවත් මේක කළේ මේ හරහා කෙරෙන රැුවටීම වහන්න බවත් වර්තමානයේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පිළිබඳ ඇමතිවරයා කරන චෝදනා වලින් ඒ බව තහවුරු වන බවට වෛද්‍ය ගිෂාන්ත දසනායක චෝදනා කළා.
මෙම අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කළේ මහාචාර්ය වෛද්‍ය ක‍්‍රිශාන්ත වීරසූරිය. සභාපති ලෙස පත් කළේ මහාචාර්ය ලාල් ජයකොඩි.
ඇමතිවරයා මෙම පත්කිරීම් වලින් උත්සහ කළේ ඉහත වෛද්‍ය වරුන්ගේ අවංකම භාවිතා කර ඖෂධ නියාමන අධිකාරිය මගින් සමාගම් වලට ඖෂධ ගෙන්වීමට නිල අනුමැතිය ලබා දීමට බව අද ඔප්පු වී තිබෙනවා.
නමුත් ඇමතිවරයාට දැන් තේරිලා තියෙනවා තමන් පොට වරද්දාගෙන ඇති බව.
ඊට හේතුව වී ඇත්තේ ඉහත මහාචාර්යවරුන් ඇමතිවරයාගේ මැදිහත්වීම් වලට යට නොවීම. ඒ නිසා මේ වන විට ඇමතිවරාය විසින් ඉහත විද්වතුන්ට බොරු චෝදනා කරමින් ඔවුන් කළකිරවමින් තමන්ට හිතවත් අය මෙම අධිකාරිය සඳහා පත්කරගැනීමට උත්සහ කරන බවට වෛද්‍ය ගිෂාන්ත දසනායක මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා. ඔහු ඒ සඳහා මෑත කාලීන උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළා.
පසුගිය පෙබරවාරි මාසයේදී වෛද්‍ය ක‍්‍ර‍්‍රිෂාන්ත වීරසූරිය සහ වෛද්‍ය ලාල් ජයකොඩි මෙම අධිකාරියෙන් ඉල්ලා අස්වුණා. පසුව ජනාධිපතිවරයා මැදිහත්වී නැවතත් ඔවුන් සේවයට පැමිණියා.
මීට හේතුව වී තිබුණේ ඖෂධ ආනයනය කරන ක‍්‍රමයෙන් පරිබාහිරව හදිසි තත්ත්වයක් තිබෙනවා යයි කියමින් ඖෂධ වර්ග කිහිපයක් ගෙන්වීමට අදාල අනුමැතිය ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීම.
මේක ඉතාම සාධාරණයි මොකද ලංකාවේ මේ කාලේ එහෙම හදිසි තත්ත්වයක් තිබුණේ නැ. මෙසේ ගෙන්වීමට අනුමැතිය ඉල්ලූ ඖෂධ තමයි.
ජෙන්ටමයිසීන්, මෙය ඇසේ ආසාදන සඳහා යොදන ඖෂධයක්, අනෙක් එක් ඖෂධයක් තමයි ලොරසිපෑන් නම් ඖෂධය මෙය භාවිත කරන්නේ නින්ද යාම සඳහා. ඒ වගේම පිළිකා රෝග සඳහා භාවිතා කරන නිමටොසොමැක් නම් ඖෂධය.
ඉහත වෛද්‍ය මහාචාර්යවරු මැදිහත්වෙලා මේ කියපු ඖෂධ මිලදී ගැනීමට යෝජනා වී තිබු මුදලට වඩා අඩු මුදලකට ගන්න මැදිහත්වුණා. ඒ අනුව මිලියන 36ත් 40ත් අතර මුදලක් යෙදවා ගෙන්වීමට ගිය ඖෂධ ලක්ෂ දෙක හමාරකට ගන්න ඔවුන්ට පුළුවන් වුණා.
ඇමතිවරයා කෝපයට පත්වුනේ මේ නිසා.
අපට ආරංචි ලෙස ඖෂධ අධිකාරියෙන් කිසි වැඩක් කරගන්න බැ කියා ඉහත මහාචාර්යවරුන්ට බැන වැදී ඇති බව වෛද්‍ය ගිෂාන්ත දසනායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
අද වන විට ඇමතිවරායා විසින් වෛද්‍ය ක‍්‍රිෂාන්ත වීරසූරියට කරන චෝදනාවත් එකී සිදුවීමේ දිගුවක් බවයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේ වන විට ඇමතිවරයා විසින් වෛද්‍ය ක‍්‍රිෂාන්ත වීරසූරියට චෝදනා කරන්නේ නිසි පරිදි නිවාඩු නොගෙන නිවාඩු ලබා ගෙන ඇති බවයි. නමුත් ඔහු තමන් ලබා ගත් නිවාඩු වලට අදාලව නිසි පරිදි නිවාඩු අයදුම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාට ඉදිරිපත් කර ඇති බව පැහැදිළි බවයි මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය ගිෂාන්ත දසනායක ප‍්‍රකාශ කළේ.
මේ අතර වෛද්‍ය කි‍්‍රෂාන්ත වීරසූරිය නොපැමිණි දින සඳහා ඇමතිවරයා පත්කළ වෛද්‍ය කමල් ජයසිංහ විසින් ඉහත ගෙන්වීම අත්‍යවශ්‍ය නොවන ඖෂධ ලෙස නම් කල පිලිකා රෝගය සඳහා ලබා දෙන ඖෂධ ගෙන්වීමට ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබා දී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළා. එසේම මෙම අනුමැතිය දී තිබෙන්නේ නිල සමාගමකට නොවන බවත් අදාල පත්වීමෙන් පසු වෛද්‍ය කමල් ජයසිංහ සේවයට වාර්තා කර ඇත්තේ එක් දිනයක් පමණක් බවත් එම දිනයේදී සිදු කර ඇත්තේ මෙකී අනුමැතිය ලබා දීම බවත් මෙය ඉතා විහිලූ සහගත බවත් වෛද්‍ය ගිෂාන්ත දසනායක චෝදනා කළා.
එසේම පිළිකාරෝගීන් ගැන මහත් සංවේගයයෙන් කතා කරන ඇමතිවරයා එය සැබෑ සංවේගයක් නම් පිළිකාරෝහලේ ඇති අඩුපාඩු විසඳීමට මැදිහත් නොවන්නේ මන්දැයි වෛද්‍ය ගිෂාන්ත දසනායක මෙහිදී ප‍්‍රශ්න කළා.
මේ වන විට පිළිකා රෝහලේ රෝගීන් සඳහා සේලයින් ලාබා දෙන්නේ පුටුවක වාඩි කර බවත්. අඩුම තරමේ පිළිකා රෝහලට ප‍්‍රමාණවත් පරිදි බ්ලෙන්ඩරයක් වත් නොමැති බවත්, ලංකාවේ පිළිකා රෝගීන්ගෙන් 35%ක් මිය යන්නේ පිළිකා රෝගය නිසා නොව ආසාදන නිසා බවත් ඒවා ඇති වන්නේ පිළිකාරෝහලේ ඇති තදබදය නිසා බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී කරුණු ඉදිරිපත් කළා.
මේ නිසා වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා තමන්ට හිතවත් අය ඖෂධ නියාමන අධිකාරියට පත් කර දැනට ඉන් සිදු වන ඉතා අවම මෙහෙයත් අවසන් කර ඖෂධ සමාගම් තර කිරීමේ ව්‍යායාමයක යෙදෙන බවට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී චෝදනා කළා.
ඒ නිසා වෛද්‍ය ක‍්‍රිෂාන්ත වීරසූරිය වැනි අය වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, ඔවුන්ද කිසි ලෙසකින් මෙකී දේශපාලන අධිකාරියට හා සමාගම් වලට යට නොවී අරගල කර යුතු බවත් සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී අවධාරණය කර සිටියා.
