පාලකයන් ප්‍රීතිවන ‘මැයි දිනය’ද? – ජනතාව සටන් අරඹන දිනයද?
Posted on 04.25.2016 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
මැයි පළමුවැනිදාට යෙදෙන්නෙ ඒ වැඩ කරන ජනයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සමරනු ලබන ජාත්‍යන්තර දිනයයි. මෙතෙක් වැඩ කරන ජනයා දිනාගත් අයිතීන් රැුක ගන්නටත් අහිමි කළ අයිතීන් දිනාගන්නටත් මේ දිනය වැදගත් වෙනවා. ඒක ලෝකයේම වැඩකරන ජනතාව සමගි වෙන, තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න දවස. ඒ නිසා ඒක ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ දිනය ලෙස නම් කර තිබෙනවා.
ලංකාවෙ සමහර වාමාංශික යැයි කියාගන්නා වංචාකාරයන්, වාත්තිය සමිති නායකයන් මේ දවස වැඩ කරන ජනතාව මුලා කරන උත්සවයක් බවට පත් කරලා. දැන් මේ ව්‍යාජ කම්කරු නායකයන්, වැඩකරන ජනතාවට අයිතිවාසිකම් අහිමිකරන, බදු බර පටවන ආණ්ඩුවත් එක්කත් කම්කරු දිනය සමරන්න යනවා. සමහරු කම්කරු දිනය සමරන්නෙ ජනතාව 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කරපු මහින්ද වෙනුවෙන් කඬේ යන දිනයක් කරගෙන. ඒ අතරම තවත් සමහරු දේශපාලන පක්ෂ වෙනුවට වෘත්තිය සමිතිවලට පමණක් වැඩකරන ජනතාව මෙහෙයවන්න පුළුවන් දිනයක් ලෙස කම්කරු දිනය සලකනවා. ස්වාධීන යැයි කියන කම්කරු නායකයන් වැඩ කරන ජනතාවගේ බලයක් ගොඩනැගීම වෙනුවට මෙතෙක් කළේ ආණ්ඩු එක්ක හෙට්ටු කරලා සොච්චමක් අරන් දීලා කම්කරු නායකයන්ගෙ දේශපාලන හයිය ඉතිරි කරගෙන ජිවත් වෙන එකයි. ලෝකයේත් ලංකාවෙත් එවැනි ස්වාධීන කම්කරු සංවිධානවලින් වැඩ කරන ජනතාවගේ නිදහස හා ගෞරවය සුරක්ෂිත කරන පාලනයක් බිහිකර නැහැ. ඒ වෙනුවට වැඩ කරන ජනතාව සූරාකෑමට සහ අයිතිවාසිකම් කප්පාදු කරන පාලක පන්තිය දිගටම රජ කරන අතර ස්වාධීන වෘත්තිය සමිති වැඩ කරන ජනතාව අතර රජ කරන තත්වයක් නිර්මාණය වෙනවා. මේ නිසා වැඩ කරන ජනතාව ධනපති පන්තිය විසිනුත් ව්‍යාජ කම්කරු නායකයන් අතිනුත් දෙවරක් හමගැසීමට ලක් වෙනවා.
නමුත් එක් කාරණාවක් ඉතාමත්ම පැහැදිලියි. වැඩකරන ජනතාව දැනට ලබාගෙන ඇති හැම අයිතිවාසිකමක්ම හිමි වුණේ වාමාංශික බලයක් ශක්තිමත් වීමේ ප‍්‍රතිපලයක් හැටියට. ලංකාවෙත් ඒක වෙනස් නැහැ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, වැඩිහිටි වියේ සමාජ ආරක්ෂණය, කම්කරු අයිතීන්, විවිධ සහනාධාර,… මේ හැම එකක්ම වමේ නායකත්වයෙන් සටන් කර දිනාගත් ඒවා. නැතිනම් ලෝක මට්ටමින් සමාජවාදී ව්‍යාපාරය බලවත් වෙද්දී එහි බලපෑමෙන් දිනා ගත් ඒවා. ඒ නිසා මෙවර වැඩකරන ජනතාවගේ දිනය, වමේ බලයක් සඳහා ආරම්භයක් කරගත යුතුයි. වමේ බලය කියන්නේ කවුරු හෝ නායකයන් පිරිසක් බලවත් කිරීමක් නෙවෙයි, වමේ බලය කියන්නේ කම්කරුවන්ගේ, ගොවීන්ගේ, වැඩකරන පන්තියේ සංවිධානාත්මක බලයක් ගොඩ නැගීමක්. ඒ හරහා රාජ්‍ය බලය වැඩකරන ජනතාව සතු කිරීමක්. ඒ නිසා වමේ බලය කියන්නේ අපේ බලයක් ගොඩ නැගීමක්. වමේ නාමයෙන් ධනපති නායකයන් ශක්තිමත් කරන්න කැස කවන අවස්ථාවාදී නායකත්වයන් වෙනුවට, වැඩකරන පන්තියේ සැබෑ දේශපාලන නායකත්වය ගොඩ නැගීම ඉතාම ප‍්‍රමුඛ උවමනාවක්.
ආණ්ඩුව බදු බර වැඩිකරන තීරණයට එරෙහිව වගේම කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරනවාට විරුද්ධ අරගලයක් අපට තිබෙනවා. වසර දසක ගණනක් රාජ්‍ය සේවකයන් දිනා සිටි විශ‍්‍රාම වැටුප් අහෝසි කළ ආණ්ඩුවේ තීරණයට එරෙහිව අරගලයක් දැන් කැඳවිය යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශයේ ඊඵීඑෆ්/ ඊටීඑෆ් අරමුදලට අත තැබීමට එරෙහිව විරෝධය පළකරමින් සටන් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමටත්, වතු කම්කරු වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඔවුන් කරන ඉල්ලීමට පක්ෂවත් වැඩ කරන ජනතාව එකා වන්ව සමගියෙන් සටන් කළ යුතුයි. ඒ හැම සටනක්ම ලංකාවෙ වැඩ කරන ජනතාව හැටියට සාමුහිකව සිදු කළ යුතුයි. එහෙත් ඒ හැම සටනක්ම තාවකාලික සහනයක් ගන්න සටන්වලට සීමා නොවී රෝග නිධානයට එරෙහි සටනක් බවට පත් කරන්න ඕන.
මේ හැම ප‍්‍රශ්නයකම රෝග නිධානය තමයි, ලාභය වෙනුවෙන්, එහෙමත් නැත්නම්, ප‍්‍රාග්ධනය තවතවත් ඒකරාශිකරණය කිරිම වෙනුවෙන් සංවිධානය වූ සමාජයක අපි ජිවත්වීම. ඉතින් මැයි දෙවැනිදා නැගිටලා ආණ්ඩුවෙන් බදු ගහපු නිසා වැඩි වෙන බඩුමිල ගැන හෝ දුරකථන ගාස්තු ගැන කුණුහරුපෙන් බැණ බැණ ඉන්නවට වඩා, ඒ වැඬේ යළිත් නොකරන ලෙස පාලකයන්ට අභියෝග කරන්න අපට බැරිද? ඒ වගේ පාලකයන් වෙනුවට අපේ අරමුණු ජයගන්න. සමාජමය අරමුණු වෙනුවෙන් දේශපාලනය කරන්න අධිෂ්ඨාන කරගන්න අපිට බැරිද? බදු බර පීඩිතයන් මත පටවමින් පාලක පන්තියේ ලාභ තර කරණ පාලක පන්තිය පළවා හරින මාවතක් දෙස බලන්න අපට බැරිද?
ළඟ එන මැයි 1වැනිදා පසුගිය මැයි 1වැනිදාට වඩා වෙනස් දවසක්, අපි මේ පීඩාකාරී ජිවිතයෙන් මිදෙන ගමනක ආරම්භයක් තබන දවසක් බවට පත් කර ගනිමු. මේ සියල්ල කියා අවසානයේ අප ඔබට කරන යෝජනාව ඒකයි.
ඉතින් ඔබට ජය!
Related News