தமிழ்
English
Contact
Friday 29th September 2017    
මැයි 1දා කම්කරුවන්ටලු ආලේ, පහුවදාට බදු වැඩි වෙයි රාළේ! « Lanka Views | Views of the truth

මැයි 1දා කම්කරුවන්ටලු ආලේ, පහුවදාට බදු වැඩි වෙයි රාළේ!



“බදු වැඩි කරනවලූ නේද? පාර තොටේදි හමුවෙන අයත් දැන් අහනවා. ආණ්ඩුවටත් බැණ වදිනවා.“
අපි අපේ ජිවිතයට බලපාන මෙවැනි ප්‍රශ්න ගැන ආණ්ඩුවට බැන බැන ඉන්න එකෙන් වැඩක් වෙනවද? හැම ප‍්‍රශ්නයෙදිම ආණ්ඩුවට බැනලා ආණ්ඩුව වෙනස් කරලා අපට යහපතක් වුණාද? රාජපක්ෂ ආණ්ඩුව කළ අපරාධ, වංචා දූෂණ වෙනස් කරන්න කියලා පත් කරපු රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව දැන් මැයි දෙවැනිදාට වැට් බදු වැඩි කරන්න තීරණය කරලා.

මැයි 1වැනිදා අපේ රටේ වැඩ කරන ජනයා රටේ විවිධ ස්ථානවලට එක් වෙලා තමන්ගෙ සාමුහික ශක්තිය ගැනත් දේශපාලන පක්ෂයේ විශේෂත්වය ගැනත් උදම් අනලා මත්පැනින් හෝ දේශපාලන තෙල්වලින් පදමට මත්වෙලා ගෙදර ගිහින් නිදාගන්නවා. පහුවදා උදේ අවදිවෙන කොට 11%කට තිබුනු වැට් බදු 15%ක් වෙලා. එහෙම වුණාම අපි පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා වැඩි ප‍්‍රමාණයක වටිනාකම ඉහළ යනවා. පාරිභෝගික භාණ්ඩ සහ දුරකථන සේවා ගාස්තු ඉහළ යාමට නියමිතයි. ආණ්ඩුවේ නායකයො මේ ගැන විවිධ කතා කියනවා. නමුත් අවසානෙට අපට ගෙවන් තියෙන මුදල වැඩිවීම වෙනසක් වෙන්නෙ නෑ.

ඒ විතරක් නෙවෙයි, අපි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නට සූදානම් වෙමින් ඉන්නෙ කම්කරුවන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් අවශ්‍ය මොහොතක. කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන්න පාලකයන් සැරසෙන වෙලාවක. රාජ්‍ය සේවකයන්ගෙ විශ‍්‍රාම වැටුප අහෝසි කරන්නත්, පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධකය හා සේවක භාරකාර අරමුදල වෙනම අරමුදලක් ලෙස භාවිතයට ගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සේරම ගැන ආණ්ඩුවට බැණ අඩ ගහන එක අපි කවුරුත් කරනවා. ඒත් ඇයි මෙහෙම වෙන්නෙ? ආණ්ඩුව වෙනස් කරලත් වෙනස් නොවන මේ තත්වය කොහොමද වෙනස් කරන්නෙ? ඒ ප‍්‍රශ්නය අපි අපෙන් අසාගත යුතුයි.

ඉතින් ඒ වුණත් මේ සියල්ල මැද ජාත්‍යන්තර කම්කරු දිනය සැමරිය යුතුයි. කම්කරු දිනයේ වැදගත්කම සැලකිය යුතු වෙන්නෙත් ඉහත කී ප‍්‍රශ්න අපෙන්ම අසාගන්න සිදුවන පසුබිම තුළමයි. මැයි පළමුවැනිදා වැඩකරන, මාසික හෝ දෛනික වැටුපක් ලබාගෙන ජීවත් වන ඔබගේ දවස. කම්කරුවන්ගේ, ගොවීන්ගේ, ධීවරයන්ගේ, ස්වයංරැුකියාවක නිරතවන අයගේ දවස. එහෙත් ඇත්තටම කම්කරුවන්ගේ, ගොවි ජනතාව, ධීවරයන්, ස්වයං රැුකියාවක නිරතවන්නන් හෝ වැඩ කරන වෙනත් අය ඒ දිනය සමරනවාද? බොහෝ දෙනා මැයි පළමුවැනිදා නිවාඩු දවසක් නිසා ගෙදරට වී ඉන්නවා. ඒක තවත් හුදු දවසක් වෙලා. තවත් සමහර අයට ඒ දවස පුරුද්දට කරන වාර්ෂික සැමරුමක්, විනෝදකාමී උත්සව අවස්ථාවක් එහෙමත් නැත්නම් වැඩකරන ජනතාවගෙන් හුදෙකලා වෙලා දේශපාලන පක්ෂවල ශක්තිය පෙන්වන දවසක් බවටත් පත්වෙලා.

නමුත් මේ ජාත්‍යන්තර කම්කරු දිනය ආරම්භ වුණේම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ලේ වැගිරුනු අරගලයකින්. අපේ රටේ වැඩ කරන ජනතාව අද බුක්ති විඳින, පාලකයන් විසින් කප්පාදු කරන්න සැරසෙන අයිතිවාසිකම් දිනාගත්තෙත් එදා අතීතයේ සිට වැඩ කරන ජනතාව සටන් කර දිනාගත් අයිතිවාසිකම්. එසේ නම් එවැනි අයිතිවාසිකම් පැහැරගන්න, තව තවත් බදු බර පටවන, ජිවන තත්වය පහළ මට්ටමට තල්ලූ කරන පාලකයන්ගෙ පා යට තැලී පෙළී ජිවත් වෙන ඔබ කවුද? ඔබ එවැනි ඉරණමකට පත්වෙන්න කළ වරද කුමක්ද?
මේ රටේ වැඩ කරන ජනතාව තමයි රටේ ආදායම් උපදවන්නන්. ඔවුන් උපදවන වටිනාකම තමයි මේ රටේ ජාතික ආදායම කියන්නෙ. කම්හල්වල වැඩ කරන, වැවිලි වතුවල සේවය කරන, ගොවිතැන් කරලා ආහාර බෝග නිෂ්පාදනය කරන, මුහුදු ගිහිල්ලා මත්ස්‍ය සම්පත් උපදවන, ගිනි අව්වේ වැඩකරලා ඉදිකිරීම් කරන සහ විවිධ සේවා සපයන්නන් ලෙස මේ ආදී වශයෙන් වැඩ කරන ජනතාව උපදවන දෙයින් රටේ ආර්ථික ශක්තිය උපදිනවා. ඉතින් මේ ආර්ථිකයට දායක වන ආකාරය අනුව අපේ පන්තිය තීරණය වෙනවා. අපි හැමදෙනාම වගේ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ ශ‍්‍රමය යෙදවීමෙන්. සමහර අය ස්වයං රැුකියාවක් සඳහා කුඩා මුදලක් යොදවා තිබෙන්න පුළුවන්. ඒත් ඒක අරන් තිබෙන්නේත් ණය වෙලා, නැතිනම් කාලයක් වැඩකරලා උපයාගත් මුදලින්. ඒ වගේම ඒ සඳහා තමන්ගේ ශ‍්‍රමය එකතු නොකොළොත් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැම දෙනාම වගේ ජීවත් වීම වෙනුවෙන් ශ‍්‍රමය වගුරන පන්තිය.

එහෙම ලාභ හඹායන අයගෙ අවශ්‍යතා ආරක්ෂා කරන ආණ්ඩුවක් තමයි අපි ඡන්දය දීලා පත් කරන්නෙ. එදා රතුපස්වලදිත් තුන්නානෙදිත් ධනපතියෙකුගෙ සමාගමක් විසින් සිදු කළ පාරිසරික විනාශය නිසා පිරිසිදු ජලය ඉල්ලපු ජනතාවට වෙඩි තියන්න පොලිසිය එව්වෙ ඒ රාජ්‍ය අවශ්‍යතාවය නිසයි. ඒකයි අපි මේකට ධනවාදය, ධනපති ආණ්ඩුවක් කියන්නේ.

ඒත් අපි යෝජනා කරන්නේ මිනිස් අරමුණු, පොදු සමාජමය අවශ්‍යතා වෙනුවෙන් සංවිධානය වූ පාලනයක්. පටු ආත්මාර්ථකාමීත්වය වෙනුවට සාමූහිකත්වය මත පදනම් වූ සමාජයක් අවශ්‍ය බවයි. ඒ සමාජයේ නම ‘සමාජවාදය‘. ඒ නිසා අපේ සටන් වැඩකරන ජනතාවගේ බලයක්, තෘප්තිමත් ජීවිතයක් දිනාගන්නා වැඩපිළිවෙලකට පෙළගැස්විය යුතුයි. ඒ සඳහා අප යෝජනා කරන්නෙ වෘත්තීය සමිතිවාදී දේශපාලනය වෙනුවට වාමාංශික දේශපාලනය තෝරාගත යුතු බවයි. අන්න ඒ තෝරාගැනීම මේ මැයි 1වැනිදාවත් කළොත් තමයි, අපට ඇත්තටම ජාත්‍යන්තර කම්කරු දිනය එහි සැබෑ අර්ථයෙන් සැමරෙන බවට සැලකිය හැකි වෙන්නෙ.




Related News