මැයි 1 වැනිදා වෙත දෙපයින් පිය නගමු!

මැයි දිනය කියනවා, කම්කරු දිනය කියනවා, වැඩ කරන ජනතාව කියනවා, සූරාකෑම කියනවා. මොනවද මේ මැයි මාසෙ ළං වෙනකොට බොහෝ දේශපාලන නායකයන් කියන කතන්දර?

මොකක්ද මේ මැයි 1 වැනිදා කියන්නෙ? මොකක්ද ජාත්‍යන්තර කම්කරු දිනය කියන්නෙ?

සාමාන්‍යයෙන් ‘මැයි දිනය’ කියන්නෙ බටහිර රටවල වසන්තය උදාවීම නිමිත්තෙන් ප‍්‍රීති උත්සව පවත්වන දිනයක්. වසර ආරම්භයේ පවතින දිගු සීත කාලය අවසන් කරමින් හිම දියවී කොළ රහිත ගස් ඉපල්වල දළු හට ගෙන ඉන් පසුව එළඹෙන වසන්ත කාලයේ මල්ඵල හට ගන්නා සමයයි. ඉතින් යුරෝපයේත් සමස්ත බටහිර සංස්කාතියේත් සමාජයීය උත්සව අවස්ථාවක් ලෙස මැයි ආරම්බය සැලකෙනවා. නමුත් 1887 දක්වා ඒක එහෙම වුණත් ඒ මැයි මාසෙදි තත්වය වෙනස් වුණා. එහම වුණේ, ඒ අවුරුද්දෙ මැයි මාසෙ මිනිස් ලේ ගලා ගිය කාලයක්වීම නිසයි.

අපි ඒ සිදුවීමෙන් මේ කතාව පටන් ගනිමු.
19 වැනි සියවස ආරම්භයෙදි අමෙරිකාවෙ ඇතිවුණ මහා කාර්මික වර්ධනයත් සමග කම්හල්වල කම්කරුවන් දහස් ගණනින් සේවයට ගනු ලැබුවා. ඔවුන් සංවිධානය වෙමින් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරිමත් ඊට සමාන්තරව වර්ධනය වුණා. පළමුවෙන්ම පැය 18-16 වැඩ දින සහ සතියට දින 6-7 වැඩකරන්න තිබුණත් පැය 10 වැඩ දිනයක් වෙනුවෙන් කළ අරගල පැය 11 දක්වා හෝ ජයගන්න මට්ටමකින් සාර්ථක වුණේ 1860 පමණ වනවිටයි.

අමෙරිකානු කම්කරුවන් විසින් සංවිධානාත්මක අරගලයක් ලෙස පැය 8 වැඩ දිනය ඉල්ලා 1886 මැයි 1 වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය ව්‍යාපාරය සාර්ථක වීමත් සමග ධනපති කම්හල් හිමියන්ගේ අවශ්‍යතාව මත පොලිස් මර්දනය ඇරඹුණා. මැයි 3 වැනිදා චිකාගෝ නගරයේ කම්කරු පෙළපාළියකට පොලිසිය විසින් වෙඩි තබා කම්කරුවන් සිව් දෙනෙක් මරා දැමුවා. මැයි 4වැනිදා එම මෘග ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පසු දින චිකාගෝ හේමාකට් චතුරශ‍්‍රයේ පැවැති විරෝධතාවය විසුරුවා හරින්නට පොලිසිය මැදිහත්වීමේදී පොලිසිය වෙත බෝම්බ පඟාරයක් එල්ල වීමෙන් පොලිස් භටයන් 7 දෙනකුද කම්කරුවන් කිහිප දෙනකුද මිය ගියා. අමෙරිකානු කම්කරුවන් 19වැනි සියවසේ මුල් භාගයේ සිට කළ අරගලයක් තමයි හේමාකට් චතුරශ්‍රයේ ලේ වැගිරීමකින් එසේ අවසන් වුණේ.
පොලිසිය විසින් සිය ගණනක් කම්කරුවන් අත්අඩංගුවට ගත්තා. පොලිස් නිලධාරින් මරාදැමීම සම්බන්ධව කම්කරු නායකයන් 8 දෙනකුට විරුද්ධව චෝදනා එල්ල කෙරුණත් එයින් සිවු දෙනකුම එම පෙළපාළිය අවස්ථාවේ එතැන සිටියේ නැහැ.

හේමාකට් කම්කරු නායකයන්- මොවුන්ගෙන් සිවුදෙනෙක් 1887 නාවැම්බර් 11 එල්ලා මරා දමනු ලැබිනි. එක් අවකු සිය දිවි නසාගත් අතර අයකුට ජිවිතාන්තය දක්වාද අනෙකාට වසර 15කද සිරදඩුවම් නියම විය.

හේමාකට් කම්කරු නායකයන්- මොවුන්ගෙන් සිවුදෙනෙක් 1887 නාවැම්බර් 11 එල්ලා මරා දමනු ලැබිනි. එක් අවකු සිය දිවි නසාගත් අතර අයකුට ජිවිතාන්තය දක්වාද අනෙකාට වසර 15කද සිරදඩුවම් නියම විය.

1887 නොවැම්බර් 11 නඩු විභාගය අවසානයේ කම්කරු නායකයන් සිවුදෙනකු ප්‍රරසිද්ධියේ එල්ලා මරා දමනු ලැබුවා. මරාදැමීමට පෙර අමෙරිකානු කම්කරු නායක ඔගස්ට් ස්පයිස් ප්‍රකාශයක් කම්කරුවන්ගේ විමුක්ති අරගල පිලිබඳ දේශපාලන ඉතිහාසයට එක්ව තිබෙනව. ඔහු ධනපති පාලකයන්ට අභියෝග කරමින් කියා සිටියේ, ”අද අපේ නිහඩතාව, නුඹලා විසින් අපේ ගෙල සිරකර දමන හ`ඩටත් වඩා බලවත් වන දවසක් උදාවනු ඇත!” කියාය. ඔහු දැනගෙන හිටියා තමන් මරාදැමුවත් ලොව පුරා වැඩ කරන ජනතාව දහස් ගනනින්, මිලියන ගණනින් එක්ව ශ‍්‍රම සූරාකෑම හා මර්දනය රජකරන ධනපති පාලනය පෙරළා දමමින් විමුක්තිය උදාකර ගන්නට අරගල කරන බව. ඒ අරගලයට නායකත්වය දුන් සටන්කාමීන් මරාදැමුවත්, අරගලකාරී කම්කරුවන්ට උණ්ඩයෙන් පිළිතුරු දී විසුරුවා හැරියත්, එය පරාජිත අරගලයක් නොවෙයි. පැය 8 වැඩ දිනය ලබාදෙන්න අමෙරිකානු පාලක පන්තියට සිදුවුණේ කම්කරුවන් මර්දනය කිරීමෙන් පමණක් සියල්ල යටපත් කළ නොහැකි නිසා. හේමාකට් අරගලයට සමාන්තරව අමෙරිකානු වැඩ කරන ජනතාව වෙනත් ප‍්‍රාන්තවල අරගල කළා. එම අරගල නිසා වැඩ වර්ජන හා කම්කරුවන් විසින් වැඩබිම් වටලෑමෙන් සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකි තත්වයක් තුළ පාලක පන්තියට එවැනි අරගල තවදුරටත් පැතිරයාම වැලැක්වීමේ වුවමනාවක් ලෙස කම්කරු ඉල්ලීම් ලබාදීම හැර විකල්පයක් තිබුනේ නැහැ.

මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. 1880 අමෙරිකාවේ වැඩ කරන ජනතාවට පැය 8 වැඩ දිනයක් වෙනුවෙන් සටන් කරන්න නායකත්වය දුන්නෙ මාක්ස්වාදී දැක්මක් සහිත කම්කරු සංවිධාන ඒකරාශි වීමෙන්. 1889 ජූලි මාසයේ පැරීසියේ රැුස් වූ දෙවන ජාත්‍යන්තරයේ පළමුවැනි සැසිවාරයේදී යෝජනාවක් සම්මත කරමින් සෑම වසරකම මැයි 1 වැනිදා නම් කිරීමට තීරණය කළා. ඒ අනුව 1890 මැයි 1වැනිදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස පළමුවරට ලොව පුරා වැඩ කරන ජනතා සංවිධානවල මූලිකත්වයෙන් සමරනු ලැබුවා.

අවුරුදු 126කට පසුව, අදත් අපි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නට සූදානම් වෙමින් ඉන්නෙ කම්කරුවන්ගෙ සහ සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතු මොහොතක.

2016.04.21-Haymarket2

හේමාකට් අරගලය සමරමින් චිකාගෝ නගරයේ පිහිටුවා ඇති ස්මාරකය