හිරුණිකාගේ ආධාරකරුවන් ජනවාරි 04 දක්වා රිමාන්ඩ්

HIRUNIKA

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට අයත් ඩිෆෙන්ඩර් රථයෙන් ගොස් දෙමටගොඩ ගුවන් පාලම අසල තරුණ රෙදි වෙළන්දකු පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සේවකයින් ඇතුළු ආධාරකරුවෝ 6 දෙනෙක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් ලබන මස හතර වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන හයදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිත බව වාර්තාවේ. එම හේතුව නිසා අදාල සැකකරුවන් සියලු දෙනාම මුහුණු ආවර්ණය කර අද දින අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තාවේ.

අද දින උසාවියට ඉදිරිපත් කළ සෙසු වෙනත් සැකකරුවනට නැති විශේෂ සැලකිල්ලක් හා වරප්‍රසාදයක් මොවුන්ට ලැබුණු බවට උසාවිය අසල රැස්ව සිටි මාධ්‍යවේදියෝ කියති. මෙම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති බව පවසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඊයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වූවාය.

යහපාලනය ගැන කතා කරමින් බලයට පැමිණීමට කටයුතු කළ හවුල් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ සේවකයින් හා ආරක්ෂකයින් මෙම පැහැර ගැනීමට සම්බන්ධ බවට විවිධ මාධ්‍ය විසින් අදාල වීඩියෝ දර්ශන පවා ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබුනි.