උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් “දෙමළ ජනතා සංසදය” නමින් වෙනම සංවිධානයක් පිහිටුවීමත් සමග දෙමළ ජාතික සන්ධානය තුළ බරපතල භේදකාරී තත්වයක් උද්ගතව තිබේ.
පසුගිය 19වැනිදා පස්වරුවේදී යාපනය පුස්තකාලයට එක්වූ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, දෙමළ සන්ධාන මුලතිව් දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී ෂිවනේෂන් වාලම්පුරි පුවත්පතේ ප්‍රධාන කර්තෘ විජේසුන්දරම්, වෛද්‍ය ලක්ෂ්මන්, ආගමික නායකයන්, නීතිඥයින් ඇතුළු පිරිසක් එක්ව මෙම සංවිධානය පිහිටුවන ලදී.
උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. පිහිටවනු ලද නව සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නැති බව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසා ඇති අතර කාරක සභික වෛද්‍ය ලක්ෂමන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදීමක් නොමැති බැවින් මෙලෙස සංවිධානයක් පිහිටවනු ලැබූ බවයි.
සුදුසු අවස්ථාවකදී දෙමළ සන්ධානය සමග වුවද මේ පිළිබඳව සාකච්ඡා කරන බවද හෙතෙම පැවැසීය. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය, සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය, ප්ලොට් සංවිධානය යන කණ්ඩායම් ද ඇතුළත්ව දෙමල ජනතා සංසදය පිහිටුවා ඇති බව පැවසේ.
මේ අතර දෙමල ජාතික සන්ධානයේ නායක මෙම නව සංවිධානය පිළිබඳව සිය අප්‍රසාදය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කර ඇත. දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුමක් වෙනුවෙන් නව සංවිධානයක් පිහිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය නොදක්වන බව සම්බන්ධන් පවසයි.
එහෙත් දේශපාලන පක්ෂයක සිටින පුද්ගලයින් පක්ෂයේ ප‍්‍රතිපත්ති උල්ලංඝණය කර පුද්ගලිකව සංවිධානයක් පිහිටුවීම පක්ෂ නායකත්වය අනුමත නොකරන බව ද ඔහු පෙන්වා දෙන ලදී. එය පක්ෂය තුළ මතබේදකාරී තත්ත්වයක් ඇති කිරීමට මගපෑදිමක් වනු ඇති බවද ඔහු මාධ්‍ය අමතා පවසා තිබේ.
කෙසේ වෙතත් කාලයක් දෙමල ජාතික සන්ධානය තුල පැවැති මතභේද ප්‍රසිද්ධ තලයට පැමිණීම මෙම සිද්ධිය හරහා සිදුවිය.
වජිර තෙන්නකෝන්