මදිඅරසන් සුලක්ෂන්ගේ උපවාසය

political-prisoner-sulakshan-madiarasan

තවත් මාස දෙකකින් යුද්ධය අවසන් වී අවුරුදු හතක් සම්පූර්ණ වේ. එහෙත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් කුමක් කරන්නේදැයි වත්මන් ආණ්ඩුවත් තවම තීරණය කර නැත. පසුගිය ආණ්ඩුව පැවසුවේ ලංකාවේ දේශපාලන සිරකරුවන් යනුවෙන් පිරිසක් නොමැති බවයි. එවිට එක්සත් ජාතික පක්ෂය දේශපාලන සිරකරුවන් වෙනුවෙන් අදහස් පළ කරනු දැකිය හැකි විය. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය කපටි ලෙස දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නය ආමන්ත්‍රණය කළේය. තමන්ගේ වැඩේ කර ගත් පසුව ඔවුන්ගේ පදය වෙනස් වී ඇත. 2016 ජනවාරි 03 වැනිදා ජනාධිපතිවරයා ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පතටත් ජනවාරි 20 වැනිදා අගමැතිවරයා ස්විට්සර්ලන්තයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීත් දේශපාලන සිරකරුවන් කොටසක් ලංකාවේ නැතැයි ප්‍රකාශ කර තිබේ. එනම්, පැරණි රාජපක්ෂ පාලනයේ පදයම වයා ඇත. සියලුම ප්‍රධාන ප්‍රශ්නවලදී මෙන්ම දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙනුත් ජනවාරි 8 වැනිදායින් පසුව සිදු වූ වෙනසක් නැත.

සිය පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් ජෙනීවන් නිදහස් කරමින් රඟපෑමක නිරත වූ සිරිසේන ජනාධිපතිවරයා සිය අවස්ථාවාදීබව ප්‍රදර්ශනය කරමින් සිටී. පසුගිය ආණ්ඩු සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව සමයේදීද දේශපාලන සිරකරුවන්ගෙන් පලි ගැනීම නතර වී නැත. නීතියේ අරමුණ වැරදිකරුවන්ට දඬුවම් දීම පමණක් නොව නිවැරදිකරුවන් ආරක්ෂා කිරීම බවද කියැවේ. නීතියට ඇස් නැති බවද කියැවේ. එහෙත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සලකා බලන විට නීතියට ඇස් ඇති බවත් තමන් ඉදිරියේ සිටින්නේ කවුදැයි හොඳින් බලා පලි ගන්නා බවත් පැහැදිලිය.

මදිඅරසන් සුලක්ෂන් 2009 මැයි 19 වැනිදා, එනම් නිල වශයෙන් යුද්ධය අවසන් යැයි ප්‍රකාශ කළ දිනයේ ඕමන්තේදී ආණ්ඩුවේ හමුදාවට බාර විය. ඔහුගේ මව මදිඅරසන් පුෂ්පමාලා වන අතර ඔහුගේ පියා මදිඅරසන්ය. පවුලේ එකම පිරිමිදරුවා ඔහු වන අතර ඔහුට තවත් නැගනියන් තිදෙනකු සිටියි. ඔවුන් තවමත් පාසල් යන වසයේ පසුව්. 2015 අප්‍රේල් 12 වැනිදා මදිඅරසන් මිය ගියේය.

මේ නිසා 58 හැවිරිදි පුෂ්පමාලා සිය පාසල් යන වයසේ පසුවන දියනියන් තිදෙනා සමග යාපනය, කරවෙඩ්ඩි, කරනවායි උතුරේ පිහිටි නිවසේ අසීරු ජීවිතයක් ගෙවමින් සිටින්නීය. ඇය පසුගිය පෙබරවාරි මස 11 වැනිදා නීතිපතිවරයා වෙත ලිපියක් ලියමින් කාරණික ඉල්ලීමක් කළාය. ඒ උපවාසයකට සුදානම් වන, බන්ධනාගාර ගතව සිටින තම දරුවා ඉන් වළක්වා දෙන ලෙසයි. උපවාසය හේතුවෙන් තම දරුවාට අනතුරක් සිදු වුවහොත් සැමියාත් නැතිව ජීවන මාර්ග අහිමිව සිටින තමන්ටත් තමන්ගේ දියණියන් තිදෙනාටත් කුමක් සිදුවේද යන මානුෂීය ප්‍රශ්නය ඇය නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක නිරතවීමට සුලක්ෂන්ට සිදු වී තිබෙන්නේ ඇයි?

2009 මැයි 19 වැනිදා යුද හමුදාවට බාර වූ සුලක්ෂන් වසරකුත් මාසයක කාලයක් ඕමන්ත මහා විද්‍යාලයේ පවත්වා ගෙන යනු ලැබූ පුනරුත්ථාපන කඳවුරේ රඳවා තැබිණි. පසුව 2010 ජූලි මස 15 වැනිදා ඔහු ත්‍රස්තවිමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාර කෙරිණි. වසර එක හමාරක පමණ කාලයක් ඔහුව රඳවා තිබුණේ බූස්ස හා කොළඹ රැඳවුම් කඳවුරුවලය. ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ රැඳවීමේ නියෝග යටතේය.

2012 ජනවාරි 09 වැනිදා සුලක්ෂන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. අධිකරණයට ඉදිරිත් කර බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද්දේ 2013 වසරේ ජූලි මස 15 වැනිදාය. ඒ වව්නියාව මහාධිකරණයේය. ගනේෂන් දර්ශන් නමැත්තෙකුද එම නඩුවට ඇතුළත් කර ඇත. මෙහිදී සුලක්ෂන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර  තිබුණේ ඔහු විසින් දෙන ලද බව කියන පාපොච්ඡාරණයකි. සාමාන්‍ය නීතිය යටතේ චූදිතයකුගෙන් පොලිසිය තුළදී ලබා ගන්නා පාපෝච්ඡාරණ හෝ කටඋත්තර ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස භාවිතයට ගත නොහැකි නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සකස් කර තිබෙන්නේම පලි ගැනීම සඳහා බැවින් කටඋත්තර හා පාපෝච්ඡාරණ ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.

මේ අවස්ථාව පාවිච්චි කරමින්, බලහත්කාරයෙන් ලබා ගන්නා ලද පාපෝච්ඡාරණ හා නිලධාරීන් විසින් සකස් කර බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් අත්සන් ලබා ගන්නා ලද පාපෝච්ඡාරණ මත පදනම්ව දේශපාලන සිරකරුවන්ට එරෙහිව නඩු පවත්වාගෙන යන අවස්ථා මෙන්ම දඬුවම් කළ අවස්ථාද හිඟ නොවන බවට සැකයක් නැත.

2013 ඔක්තෝබර් මස නඩුව කැඳවූ අවස්ථාවේදී වව්නියාව මහාධිකරණය හමුවේ රජයේ නීතිඥයා පැවසුවේ, චෝදනා ඔප්පු කිරීමට  ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඒ නිසා සුලක්ෂන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය සංශෝධනය කළ යුතු බව පවසා ඒ වන විට ගොනු කර තිබූ චෝදනා පත්‍රය ඉවත් කර ගෙන තිබේ.

මේ අනුව 2013 වසර වන විට සුලක්ෂන් බන්ධනාගාර ගතව සිටි කාලය අවුරුදු හතරකි. සුලක්ෂන්ට විරුද්ධව වෙනත් චෝදනා තිබෙන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට එම කාලය ඕනෑ තරම් ප්‍රමාණවත් බව පැහැදිලිය. එසේ වුවත් තවත් වසර දෙක හමාරක කාලයක් ගත වූයේ කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරවය. නීතිපති දෙපාර්තමේන්තුව හරහා ආණ්ඩුව දේශපාලන සිරකරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්නේ එසේය.

තමන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස උපවාස කිරීමට කිසියම් සැකකරුවකුට සිදු වන්නේ නම් එය අවාසනාවන්ත තත්වයකි.