අකිල විරාජ්ගේ කුණුහරුප

Akila-Viraj

ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා හැඳින්වීමට විශේෂණ පදයක් සොයා ගැනීමට ගත් වෙහෙස නිසා මෙම ලිපිය පළ කිරීම ප්‍රමාද විය. එහෙත් තවමත් වෙබ් අඩවියේ පළ කළ නොහැකි කුණු හරුප මිස (ඇමතිවරයා කළ ප්‍රකාශය තරම් කුණුහරුප නොවූවත්) වෙන විශේෂණ පදයක් සිහිපත් නොවීම නිසා ලිපිය අවසන් කිරීමට සිතුවෙමි.

ඕනෑම අයෙක් අනෙක් අය දෙස බලන්නේ තමන්ට සාපේක්ෂව යැයි පිළිගැනීමක් තිබේ. ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා සිතනු ඇත්තේ ස්ත්‍රී ලිංගයක් සහ පුරුෂ ලිංගයක් ඇති දෙදෙනකු ඇඳක් මත වැතිර සිටින්නේ නම් ඒ අසවල් එක කිරීමට මිස වෙන යමකට නොවේ යැයි කියා විය හැකිය. ඒ ඔහු ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා ගැන දන්නා ප්‍රමාණයයි. ඔහු හැසිරෙන ආකාරයයි.

අධ්‍යාපන ඇමැතිවරයා කුඩා අවදියේ අම්මාගේ තුරුළේ උණුසුම වින්දා නම් ඒ කාලය සිහිපත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමු. ඒ කාලයේ අම්මා සමග අසවල් එක කරන්නට නැති බව අපි ඉඳුරාම විශ්වාස කරමු. සමාවන්න…! මෙය කීමට වෙන ක්‍රමයක් නැත. පහතින් උපුටා පළ කරන්නේ ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා වන අකිල විරාජ් කාරියවසම් ‘මහතා‘ බී.බී.සී. වෙබ් අඩවියට කළ ප්‍රකාශයයි.

”මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.” (බී.බී.සී. 2015/03/05)

එච්.අයි.වී. බෝවීමට හේතු වන කරුණු ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම ආදියයි. සුළඟෙන්, එකම පිඟාන, කෝප්පය, තුවාය භාවිත කිරීමෙන් වැනි දේ මගින් එච්.අයි.වී. ආසාදනය නොවන බවත් ඒ නිසා එච්.අයි.වී. ආසාදිතයන් සමාජයෙන් කොන් කිරීම නොකළ යුතු බවත් වෛද්‍යවරු අවධාරණය කරති.

එච්.අයි.වී. ආසාදිතයකුගේ අනන්‍යතාව හෙළි නොකිරීම පිළිගත් වෛද්‍ය සම්ප්‍රදායයි. එසේ තිබියදී අධ්‍යාපන ඇමැතිවරයා දරුවාගේ මව එච්.අයි.වී. ආසාදිතයකු බව පවසන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු පැවසූ බව කියමිනි. එවැනි ප්‍රකාශයක බරපතළකම තේරුම්ගත නොහැකි ගොබ්බයකු අධ්‍යාපන ඇමැති ධුරය දරන රටකට ‘අබසරණයි‘ කීම හැර වෙන කිව හැකි දෙයක් නැත. මේ ලංකාවේ දේශපාලකයන්ගේ මොළයේ තරමයි.

මෙහිදී ඇමැතිවරයා හැසිරී තිබෙන්නේ අතිශයින් ග්‍රම්‍ය ලෙස තමන්ගේ ඡන්ද පදනම් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. කුලියාපිටියේ නූගත් බහුතරයක් මවත් දරුවාත් ගලා ගසා මරා දැමිය යුතු යැයි සිතද්දී ඇමැතිවරයාද ‘බහුතරයේ‘ මතය ගෙන තිබෙන්නේ වැල යන අතට මැස්ස ගැසීමට මිස අන් යමකට නොවන බව පැහැදිලිය.  වෙන දෙයක් ගැන නොදැන සිටියත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් එච්.අයි.වී. ගැන නම් හොඳින් දන්නවා විය යුතුය.

කිසියම් මවකට එච්.අයි.වී. ආසාදනය වී තිබේ නම් එම මව දරුවන්ගෙන් හෝ වෙනත් සමාජ සම්බන්ධතාවලින් ඈත් කරනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණයවත් ගොබ්බ ඇමැතිවරයකුවත් මන්දබුද්ධික නිලධාරියකුවත් නොවේ. එය තීරණය කළ යුත්තේ වෛද්‍යවරුන් විසිනි. එවැනි මවක් දරුවන්ගෙන් වෙන් කරන්නේ නම් එය කළ යුත්තේ අඬ බෙර ගසා දරුවාත් මවත් සමාජය ඉදිරියේ අවඥාවට ලක් කිරීමෙන් නොවන බව අකිල විරාජ්ට තේරුම් ගත හැකි විය යුතුය.

තමන් සිටින්නේ දරුවාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවත් ලක්ෂ තුනක් මනාප දී තමන් පාර්ලිමේන්තුවට යැවුයේ ජනතාව ගැන සිතන නිසා බවත් මොනවා වුවත් සමාජයේ මනෝභාවයන් තේරුම් ගත යුතු බවත් වැනි දේ කියමින් තමන්ගේ ප්‍රකාශය අසාධාරණිකකරණය කර ගැනීමට උත්සාහ දැරීම තකතීරුකමකි.