අද ලංකාවේ තියෙන්නේ පහසුගෙවීමේ ක‍්‍රමයට පාන් විකුණන ආර්ථිකයක් – දුමින්ද නාගමුව

duminda-nagamuwa

පාන් නැත්නම් කේක් කාපල්ලා යනුවෙන් කියමනක් අප අසා ඇත. ප‍්‍රංශ විප්ලවයේදී පාන් ඉල්ලමින් පැමිණි පැරිස් කාන්තාවන්ට එසේ කියා ඇත්තේ මාරි ඇන්ටනොයිඞ් බිසවය. මේ කතා කරන්නේ ඊට ශත වර්ශ කිහිපයක පසු ලංකාවේ ආණ්ඩුවේ අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ විශේෂ ප‍්‍රකාශය හා ඒ සමග මතු වී ඇති තත්ත්වයයි.

මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ 13 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මේ සඳහා එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික රංජිත් පියතිලක සම්බන්ද වුණා.

සමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු සංවර්ධනය කියන්නේ පාලම් බෝක්කු හදන එක. නමුත් සැබෑ සංවර්ධනය කියන්නේ ඒකද? එතනදී මූලික වෙන්න ඕන මූලිකව දරිද්‍රතාව නැති කරන එක ගැන. ඊනියා ධනේශ්වර සංවර්ධන දර්ශක වලින් මනින සංවර්ධනය සැබෑ සංවර්ධනය නෙවෙයි. අද වෙනකොට ලෝකයේ ප‍්‍රමුඛම ධනපතියන් 62 අතර සමස්ථ ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් 50%ක ආදායමක් ගොඩ ගැහෙනවා. මෙතන තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා සංවර්ධනය කියන්නේ මොකක්ද? සැබෑ සංවර්ධනය මනින දර්ශක ගැන අපි නැවත හිතන්න ඕනෑ බව මෙහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව පැවසුවා.
අගමැති පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශය පිළිබඳ ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසුවා.
අගමැතිවරයා පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය ගැන මේ වන විට විවිධ අදහස් පළවෙනවා. ලංකාවේ ආර්ථිකය, වැට් බදු වැඩි කිරීම මෙහිදී ඔහුගේ අවධානයට යොමු වූ කරුණුයි. ප‍්‍රධාන වශයෙන්ම මෙහිදී ඔහු කීවේ ජනතාවට පටි තද කරගන්න කියලා. නමුත් ඒ කියලා හෝරා කිහිපයක් යන්න ලැබුණේ නෑ. ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනා මේ වන විට වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. මේ මොකක්ද කියන්නේ අපිට අල කොළ කන්න කියලා ඒ අය මෝර මාලූ බෙදා ගන්නවා. මේක තමයි නව ලිබරල් ධනවාදයේ ඇත්ත.

වැට් බදු වැඩිවීම.

වැට් බද්ද වැඩි කරා. ඒ අනුව 2016ට කලින් 11%ක තනි ඉලක්කමක් විධියට තිබුණ බද්ද. පසුව 12.2%ත් 8% යන අගයන් දෙකකට ගෙනත් දැන් නව සංශෝධනය අනුව නැවතත් 15% ක තනි ඉලක්කමට ගෙනත් තියෙනවා. ඒ අනුව ඉදිරියේදී සියලූ භාණ්ඩ වල මිල වැඩි වීමට නියමිතයි. දැනටමත් ඒකේ පෙරනිමිති පහළවෙලා තියෙනවා. ආණ්ඩුව කිව්වට මෙතනදි මේක හැම භාණ්ඩයකටම අදාල වෙන්නේ නෑ කියලා. නමුත් මේකෙන් ඉවත්වෙන භාණ්ඩ මොණවද කියලා ආණ්ඩුව මෙතෙක් කියලා නෑ. ඒ නිසා ඉතා පැහැදිළිව මෙහි සමස්ථ බර ජනතාව මත පැටවීමට නියමිතයි.

ආර්ථික අර්බුදය

ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කිරීමේදී අගමැතිවරයා මූලික කාරණා තුනක් ගැන අවධානය යොමු කළා.
1. ණය ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බව.
2. ඉහළ අය වැය හිඟය.
3. ඉහළ වෙළෙඳ ශේෂ හිඟය.
මේ කතා කරන්නේ මහේක්ෂ ආර්ථිකය ගැන.

රාජ්‍ය ණය.

ලස්සනම කතාව තමයි රාජ්‍ය ණය ගැන කියන කතාව. දැන් අපි අහනවා මේ ණය උගුලෙන් ගැලවිලා ඉන්නේ මොන රටද? දැන් මේ අයගේ ආර්ථික වැඩපිළිවෙල යටතේ කියන්න එපැයි එහෙම වැඩපිළිවෙලක් අනුව මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගත්ත රටක් ගැන. මොවුන් අපිට පෙන්නන සිහින රාජ්‍ය වලත් අද යථාර්ථය මේක තමයි. උදාහරණයක් විධියට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් විධියට ගත්තම ජපානයේ එය 246%යි. එක්සත් ජනපදයේ 104%යි. ලංකාව ඉන්නේ මේ අනුව 35 වෙනි ස්ථානයේ.

අය වැය හිඟය.

මහා ලොකුවට සංවර්ධිතයි කියන මොන රටද අය වැය හිඟය මගහැරගෙන තියෙන්නේ. නෝර්වේ, ස්වීඩනය වගේ රටවල් කිහිපයක් හැරුණම මේ නව ලිබරල් ආර්ථික උපායමාර්ග අනුගමනය කරන සෑම රටක්ම මේ ප‍්‍රශ්නයේ ගොදුරක්. ඉන්දියාවේදි එය 36.2% යි. එක්සත් ජනපදයේ 21.6%යි. එක්සත් රාජධානියේ 19.1% යි. ඒ නිසා අය වැය හිඟය කියන එකත් මේ පතින ආර්ථික ක‍්‍රමය යටතේ අනිවාර්යක්.

වෙළෙඳ ශේෂය.

ලෝකයේ වෙළෙඳ ශේෂය වැඩිම රට චීනය. එය ඩොලර් බිලියන 365යි. එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 365609යි.

ඒ නිසා අපි කියන්නේ මේ කියන ආර්ථික අර්බුදය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. රනිල් වික‍්‍රමසිංහයේ මාමා ගේ කාලේ හඳුන්වාදුන්න නව ලිබරල් ආර්ථික ක‍්‍රමය නැමති බබාගේ ජාති ලක්ෂණ තමයි මේවා. ලෝකයේ කිසිම රටක් මේ ප‍්‍රශ්න වලට මේ ආර්ථික ක‍්‍රමය යටතේ උත්තර හොයගන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ 77 සිට සිදු වුනේ මේ බබා නඩත්තු කරන්න අලූතින් අනුප‍්‍රාප්තිකයෙක් පත් වෙච්ච එක විතරයි. දැන් ඒ අනුප‍්‍රාප්තිකයෝ තමයි රනිල් හා මෛත‍්‍රී.

මහින්ද රාජපක්ෂ කාලේ මේ අර්බුදයට මේ අය දාපු උපමාරුව තමයි කොටිය පෙන්නා මේ ප‍්‍රශ්නය මග හැරීම දැන් පාලකයෝ කරන්නේ මහින්ද පෙන්නා මේ ප‍්‍රශ්නය මග හැරීම. අගමැතිවරයා කියනවා මේක අවුරුද්දෙන් ගොඩ දාන්න පුළුවන් කියලා. ඒත් ලෝකයේ ආර්ථික විiාඥයෝ කියන්නේ මේ අවරුද්දේදී 2008 පන්නයේ ආර්ථික අර්බුදයක් නැවත ඒමට නියමිතයි. ඒ නිසා මේ ආර්ථික අර්බුදය ගැන කිසිදු දෙයක් කියන්න බෑ කියලා. ඒ නිසා මේ ඇත්ත කියනවා කියන ආණ්ඩුවත් කරන්නේ සියලූ බර ජනතාව මත පටවන්න බදු ගහලා ප‍්‍රශ්නෙ මේ මොහොතෙන් පැන ගන්න එක විතරයි. ඒකට ගහපු සිංදුව තමයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව. මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කියපු එක්සත් ජාතික පක්ෂය අද සම්පූර්ණයෙන් අසමත් වෙලා තියෙනවා.

අපිට අල කොළ උන්ට මෝර මාලූ

මේ සියලූ දේවල් අස්සේ ජනතාවට පටි තද කරගන්න කියලා. අසරණ මන්ත‍්‍රීවරුන්ගේ නිවාස දීමනවා. රුපියල් 50000ක් කරලා. පව්නේ ඒ අය යන එන මන් තැතිවනේ ඉන්නේ. දුරකතන දීමනවා 50000ක් කරලා. කාර්යාලනනේ මේ අයට ජනතා සේවේ කරන්න. ඒක රුපියල් 75000 වැඩි කරලා. දුරකත දීමනා වැඩි කිරීම නිසා විතරක් ආණ්ඩුව කලින් ඒ සඳහා වැය කරපු ලක්ෂ 35 ලක්ෂ 112 වෙනවා කියලයි කියන්නේ. ඔන්න ඔහොමයි ජනතාවට පටි තදකරගන්න කියන පාලකයන්ගේ පැටිකිරිය.

මේ අය බලයට එනකොට කිව්වේ මොකක්ද? පාන් ගන්නවා වගේ කඬේට ගිහින් කාර් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ අද කාර් ගන්නවා වගේ කඬේට ගිහින් පහසුගෙවීමේ ක‍්‍රමයට පාන් ගන්නයි මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.

ඒ නිසා අපි කියන්නේ මේ ආර්ථික ක‍්‍රමයට තවදුරටත් මේවට උත්තර නෑ. මේ ආණ්ඩුවත් පරණ පීල්ලෙමයි යන්නේ. අපි අහනවා ආණ්ඩුව පෝට් සිටි ගැන මොකද කියන්නේ. ගිය ආණ්ඩුව ණය වුනේ මේවට. දැන් මේ අයට ඒ අයට බැන බැන ඒ පාරෙමයි යන්නේ. විකල්පයක් නෑ. උත්තර නෑ. රට එන්න එන්නම යන්නේ වලපල්ලට. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ ආර්ථිකය ගැන සංවර්ධනය ගැන වෙනස් විධියකට හිතන්න ආරම්භ කරමු කියලා. එහෙම නැතිව මේ ප‍්‍රශ්න වලින් ගොඩ එන්න බැ. පහුගිය අවුරුදු 10 ලංකාවේ ආදායම් දෙගුණ වෙලා තියෙන්නේ. ඒක හරි හැබැයි අපි අහනවා. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න දෙගුණ වෙලා නැද්ද? ඒ නිසා මෙතන තියෙන්නේ වෙන සෙල්ලමක්. ආණ්ඩුව කියන්නේ කොම්පැනියක්. අපි ඒ කොම්පැනියට බදු ගෙවනවා. අපට අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සේවා දෙන්න කියලා. මේ කොම්පැනිය ලෝකේ කොහෙත් පාඩු පිට දුවන්නේ. නමුත් අනිත් කොම්පැනි ඔක්කොම ලාභ ගන්නවා. ඒව වැටෙන්න දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ධනපතියන් රකිනවා. දුප්පතුන්ට බදු ගහනවා. අද ලංකාවේත් යථර්ථය ඕකයි.