බොක්සිං වළල්ලට සමුදෙන ලොව ධනවත්ම කී‍්‍රඩකයා

floyd-mayweather

ලොව ධනවත්ම කී‍්‍රඩකයා ලෙස සැලකෙන අමෙරිකාවේ ‘ෆ්ලොයිඞ් මේවෙදර්’ තම වෘත්තීය තරග වාර්තාව 49-0ක් ලෙස ලෝක වාර්තාවක් තබමින් අපරාජිතව තරග වළල්ලට සමුදෙන බව පසුගිය දා ප‍්‍රකාශ කළේය. අන්ද්‍රේ බර්ටෝ සමඟ සැප්තැම්බර් 12 වැනිදා පැවැති තරගය ජයගැනීමත් සමඟ 39 වැනි වියට එළඹ ඇති ෆ්ලොයිඞ් තම සමුගැනීම ප‍්‍රකාශ කළේය. ‘මනී’ නැමති අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ඔහුට එවන් නමක් පටබැඳී ඇත්තේද ඔහුගේ අත්, මුදල් මවන යන්ත‍්‍රයක් වූ නිසාවෙන්මය. වෙල්ටර් වේට් බර පන්තියේ WBA ලෝක ශූරයා වන ඔහු පිටියෙන් සමුගන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 400කට වැඩි වත්කම් සහිත පුද්ගලයකු ලෙසය.
1977 අමෙරිකාවේ මිචිගන්වලදී උපත ලද ෆ්ලොයිඞ්ට කුඩා කාලයේදීම බොක්සිං අත්වැසුම් අතගෑමට හැකිවිය. ඔහුගේ පියාද බොක්සිං කී‍්‍රඩාවේ නිරත වූවෙකි. ඔහුගේ මාමාවරුන් දෙදෙනෙක්ම වෘත්තීය බොක්සිං කී‍්‍රඩකයන් විය. එසේ වුවත් ඔහු පවසන පරිදි ඔහුගේ බාල විය එතරම් සුන්දර නොවීය. වයස අවුරුදු 9දී ඔහු තම මවත් සමඟ නිව් ජර්සිවල තනි කාමරයක් සහිත කුඩා නිවසක විසීය. ඇතැම් දිනවල ඉටිපන්දම් එළියෙන් රැුය පහන් කිරීමට ඔවුන්ට සිදුවිය. පියා මත්ද්‍රව්‍ය විකිණීමේ නිරත විය. මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය. ඔහුගේ නැන්දා මිය ගිියේ ඒඞ්ස් රෝගය වැලඳීමෙනි. පියාගේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ඔහුවද යොදා ගැනුණි. කෙසේවෙතත් කුලී වැඩට යාමට සිටි ඔහුට ‘දිගටම බොක්සිං ගහපන් කියා’ කී‍්‍රඩාවට යොමු කළේ තම මිත්තණිය බව ඔහු පවසයි.

තම මාමා කෙනකු යටතේ පුහුණු වූ ෆ්ලොයිඞ් 1993දී අමෙරිකානු ජාතික කනිෂ්ඨ ශූරතාව ජයගැනීමට සමත් විය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේදී අමෙරිකාව නියෝජනය කරමින් සුපර් ෆෙදර්වේට් බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය. 96දී වෘත්තීය තරග බිමට පිවිසි ඔහු 98දී සුපර් ෆෙදර්වේට් බර පන්තියේ වෘත්තීය තරගවල ලෝක ශූරතාව දිනාගැනීමට සමත් විය. එතැන් සිට සිරුරේ බර අනුව වර්ග කර ඇති බර පන්ති 5ක් යටතේ ලෝක ශූරතා දිනා ගැනීමට ඔහු සමත් විය. මෑත කාලයේ ලොව බිහි වූ විශිෂ්ටතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙස ඔහුව හැඳින්වෙද්දී ඇතැමුන් ඔහුව සලකන්නේ එදා මෙදා තුර ලොව බිහි වූ විශිෂ්ටතම බොක්සිං කී‍්‍රඩකයා ලෙසයි.

ෆ්ලොයිඞ් කී‍්‍රඩාව තුළින් වැඩිම මුදලක් ඉපැයූ කී‍්‍රඩකයා ලෙස ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් 2012 වසරේදී නම් කෙරුණි. 2013, 2014 වසරවලදීද ඔහු එම ලැයිස්තුවේ අංක 1හි රැුඳුණි. 2013දී ඔහු ඉපැයූ මුදල ඩොලර් මිලියන 105කි. ලොව ධනවත්ම කී‍්‍රඩකයා ලෙස ෆ්ලොයිඞ් අංක එකේ රැුඳෙද්දී ගෝල්ෆ් ශූර ටයිගර් වුඞ්ස් දෙවැනි තැනට වැටුණි. ඔහු ඉපැයූ මුදල මයිකල් ෂූමාකර්, එවැන්ඩර් හොලිෆීල්ඞ්, මයික් ටයිසන් වැනි හිටපු සුපිරි කී‍්‍රඩකයන් ඉපැයූ මුදලට වඩා වැඩිය.

කෝටිපතියෙක් වූ නමුදු කටුක අතීතයක් තුළ ගොඩනැඟුණු ඔහුගේ පෞද්ගලික ජීවිතය එතරම් සොඳුරු නොවීය. අවස්ථා කිහිපයකදීම සිරබත් කෑමට ඔහුට සිදුවිය. ඒ බොහෝ අවස්ථාවල චෝදනාව වූයේ ගෘහස්ථ හිංසනයයි. 2012 වසරේදී ඔහුට දින 87ක් සිරබත් කෑමට සිදුවිය. කී‍්‍රඩාවකටත් වඩා සූදුවක් වී ඇති බොක්සිං කී‍්‍රඩාව ඔට්ටු අල්ලන්නන්ගේ පාරාදීසයක් වී තිබියදී ත‍්‍රාසය පිරුණු තරග විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක්ද සමඟ පැවැත්වෙද්දී කී‍්‍රඩකයන්ගේ මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් තිබේ. එවන් තත්වයක් තුළ බොක්සිං තරග වළල්ල මැද තරග වදින්නේ කී‍්‍රඩාශීලී මිනිසකු නොව මුදල් මත බාහු යුග්මය චලනය කරන මිනිස් යන්ත‍්‍රයක් බව ලොව ධනවත්ම කී‍්‍රඩකයාගේ ජීවිතය තුළින්ම පිළිඹිබු වේ.