2001 දී ආණ්ඩු බලය ලබා ගත් එක්සත් ජාතික පක්ෂය සිය ආර්ථික දැක්ම බවට පත්කර ගත්තේ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ හෙවත් ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ වැඩසටහනය. එය සුවිශාල පොතක් ලෙස මුද්‍රණය කර වෛවර්ණ පිට කවරයක්ද සහිතව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන ලදී. නව ලිබරල් ධනවාදයේ දෙවෙනි ඉනිම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට කර ගත නොහැකිව පැවති ඇතැම් සීමා මායිම් අතික‍්‍රමණය කරමින් පෞද්ගලිකකරණය කිරීමට නියමිත ආයතනවල නම් පවා ප‍්‍රසිද්ධ කෙරිනි. ජල සම්පත පවා වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කටයුතු ලහි ලහියේ සිදුවිය.
ඊට සමගාමීව කොළඹ නගරය සදහා යෝජනා කර තිබූ ආර්ථික මොඩලයට අනුකූලව එහි කටයුතුද වේගයෙන් ආරම්භ විය. එජාපයට අනුබද්ධිත රන්ජන් විජේරත්න පුහුණු පාසලේදී 89 ප‍්‍රා සංවිධානය තුළ තඩි පේමේ ලෙස ප‍්‍රසිද්ධියට පත් සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම එජාප උපදේශකයකු ලෙස පැමිණ විශේෂ දේශනයක් කරන ලදී. ඔහු එහිදී පවසා තිබුණේ සදාචාරය, සංස්කෘතිය රකිමින් මේ රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත් එබැවින් විරෝධතා ගණන් නොගෙන සාම්ප‍්‍රදායික නොවන ආර්ථික ධනෝපායන මාර්ග විවර කරලිය යුතු බවය. කොළඹ නගරය නොනිදන නගරයක් බවට පත් කරලීමේ කටයුතු වේගවත් වූයේ ඉන් පසුය.
දැනටත් දඹුල්ල වැනි නගර හඳුන්වන්නේ නොනිදන නගර ලෙසය. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිසාය. දඹුල්ල අවට දිස්ත‍්‍රික් ගණනාවක ගොවීහු සිය අස්වැන්න තුට්ටු දෙකට ආර්ථික මධ්‍යස්ථානයට විකුණා දැමීමට නොනිදා රැය පහන් කරති. නමුත් සි.ඒ. චන්ද්‍රපේ‍්‍රම කියූ කොළඹ නොනිදන නගරයේ ප‍්‍රධාන මූල්‍ය පදනම වී තිබුණේ සූදුව සහ ශරීර වෙළෙඳාමය. ඒ අනුව කොළඹ නගරය හා ඒ අවට වේගයෙන් කැසිනෝ ඇතුළු සමාජ ශාලා ව්‍යාප්ත වූ අතර කොළඹ රාජකීය විද්‍යාලය තුළ පවා රුසියානු ගණිකාවන් යොදා ගනිමින් ආදි ශිෂ්‍ය පදනමෙන් නිරුවත් සැදෑවන් සංවිධානය විය. කොළඹ නගර සභාව හරහා කොළඹ නගරයේ අඳුරු අහුමුළුවල රුපියල් 5ක් දැමූ විට කොණ්ඩමයක් එළියට එන පෙට්ටි සවි කිරීම සිදුවිය.
සංචාරක කර්මාන්තයද ශරීර වෙළෙඳාමට ගැලපෙන ලෙස ’’නවීකරණය කිරීමේ’’ කටයුතු ඇරඹිනි. සීගිරිය තුළ සජීවී සීගිරි කාශ්‍යප රජෙකුත් උඩුකය නිරුවත් සීගිරි ළලනාවියෝත් යොදා ගැනීමේ සැලසුම් වේගයෙන් සකස් වෙමින් තිබින.
ඒ අතරම පැවැති එජාප ආණ්ඩුව ජාතිකවාදී බලවේග කරළියට කැදවා පෙරළා දැමීමේ තිරෙන් පිටුපස පැවති සැලසුම් වේගවත් වී විධායක ජනාධිපති බලතල යොදාගනිමින් ආණ්ඩුව ගෙදර යවා ජවිපෙ ඇතුළු පක්ෂ කීපයක සන්ධානයකින් නව අණ්ඩුවක් බිහි කෙරින. කොළඹ නොනිදන නගර සංකල්පයද අත්හැර දැමින. දැන් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන ලීවරය අතැතිව සිටින්නේ එදා එලෙස පසු බැස යාමට සිදු වූ එජාපයමය. ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවකරුව සිටින්නේ එදා එජාපයට එරෙහිව යොදාගත් ශ‍්‍රීපනිප යයි. ආණ්ඩුවේ ඊනියා දූෂණ මර්දන යාන්ත‍්‍රයේ දැති රෝද බවට පත් කරගෙන සිටිනුයේ එදා එජාප ආණ්ඩුව ගෙදර යැව්වේ මෙහෙයුම් හස්තය බවට පත්ව සිටි ජවිපෙයි.
මහින්ද රාජපක්ෂ පාලනයේ වරාය නගර ව්‍යාපෘතිය අද මූල්‍ය නගර ව්‍යාපෘතිය බවට පත්ව ඇත. මේ වන විටත් ඊට එරෙහිව දැවන්ත ජනතා විරෝධයක් ගොඩනැගෙමින් ඇතත් අගමැති රනිල් වික‍්‍රමසිංහට අනුව කවර විරෝධතා පැමිණියත් මෙම ව්‍යාපෘතිය අත්හැර නොදැමේ.
පසුගිය මහමැතිවරණයට එජාපය ඉදිරිපත් කළ මැතිවරණ වැඩපිළිවෙළ හැදින්වුයේ ‘මාස 60කින් අලූත් රටක් හදන පංච විධ ක‍්‍රියාවලිය’ ලෙසය එහි 3 වෙනි පිටුවේ මෙවන් සදහනක් වේ’ අපේ නව ආර්ථික වැඩපිළිවෙළට පාදක වන්නේ දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයයි. මෙය වාමවාදී ආර්ථිකයටත් ධනවාදී ආර්ථිකයටත් වඩා දියුණු මානව හිතවාදී ආර්ථිකයකි’.
මුළු මහත් ලෝක ධනේෂ්වරයම වෙළෙඳපළ ආර්ථික මර උගුලක සිරවෙමින් හා එය විසින්ම ජනිත කළ අර්බුදයක ගොදුරක්ව සිටියදී එජාපයේ වැඩපිළිවෙළ ඊට කිසිදු අයුරකින් වෙනස් නොවන, පීඩිත ජනතාව දිනෙන් දින වහල්භාවයට ඇද දමමින් සිටින එකක් බව මේ වන විට ඉතා හොඳින් ඔප්පු කරමින් සිටියදි ඊයේ පෙරේදා නැවතත් මෙරටට පැමිණි බෑන් කී මූන් මහ ලේකම්වරයා ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතාවගේ නිදහස සුරක්ෂිත කර ලීමට වත්මන් පාලනය කැප වෙමින් සිටින අයුරු තමාට හොඳින් නිරීක්ෂණය විනැයි පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
බෑන් කී මූන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් කිසිවිටෙක එකක් නොවී දෙකක් වන විට උන්ගේ නිදහසත් අපේ නිදහසත් එකක් විය හැක්කේ කෙසේද? උන් නිදහස යැයි පවසන්නේ ලෝක මූල්‍ය ධනපතියන්ට මෙරට පීඩිත ජනතාවගේ ශ‍්‍රමය තුට්ටු දෙකට කොල්ල කෑ හැකි ලෙස නීති සම්පාදනය කරලමින් හා ඊට බාධාවක්ව පවතින නීති සංශෝධනය කිරීමටය. මුළු ලෝකයේම ආර්ථිකයෙන් තුනෙන් එකක් මූල්‍ය ධනපතියන් අතලොස්සක් අත පැවතීමට එරෙහිව උන් කිසිවක්ම නොකියන්නේ ඒ නිසාය. බෑන්කීං මූන් ලංකාවට ගොඩබසින්නට පෙර දිනයේත් නිදහස් අධ්‍යාපනය ඉල්ලා පාරට පැමිණි ශිෂ්‍යන්ට පොලිසිය එළව එළවා පහරදීම හා ශිෂ්‍යයන්ගේ හිස් කබල්වලට ශල්‍ය කර්ම කිරීමට සිදුවීම පිළිබදව බෑන් කී මූන් ලා චූන් වීම ගැන අප පුදුම නොවන්නේ අධිරාජ්‍යවාදයට අදාළ වටපිටාව නිර්මාණය වෙමින් පැවතීම ද සලකාය. කම්කරුවන්ට මාරාන්තිකව බලපානා නීති අණ පනත් 14ක් සංශෝධනය කිරීම් සිදුවන විට බැන්කීන්ලා කුමට දුක් වන්නද?
‘සියල්ල සූදානම්ය. සිය ගෙල සිඳලන්නා වූ පිහිය එනතෙක් ගොදුර එහි වැතිර සිටිතැයි’ වරෙක එංගල්ස් ලියා තැබූ සඳහන යළි යළිත් සිහිපත් කරලිය යුතු සමයක් අප හමුවට පැමිණෙමින් තිබේ. එය පරාජය කළ යුතූමය. එහෙත් එය පරාජය කළ හැක්කේ කම්කරු – ගොවි – ශිෂ්‍ය ආදී සියලූ කොටස් නව ලිබරල්වාදයේත් අධිරාජ්‍යවාදයේත් මෙහෙයුම් හස්තය බිද දැමීමේ සාමූහික හා සංවිධානාත්මක ක‍්‍රියාවලියක් හරහාය. ඒ සඳහා නායකත්වය දිය හැකි ශක්තිමත් වමක අවශ්‍යතාව එන්නේ එවිටය. සිය ගෙල සිඳලන්නා වූ පිහිය කුමක්දැයි පෙන්වා දීමට, තේරුම් කර දීමට මේ මොහොතේ වම මත පැවරී ඇති වගකීම අතිමහත් එකකි.