පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් මහබැංකු බැදුම්කර වංචාවට හිටපු මහබැංකු අධිපති හා බැදුම්කර ගනුදෙනුවට අදාල නිලධාරින්ට දඩුවම් කළ යුතු බවට නිර්දේශ කර තිබේ.
අද පාර්ලිමේන්තුව හමුවේ තැබුනු වාර්තාවට මන්ත්‍රීවරු 16 දෙනකු අත්සන් කළ බව කෝප් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි. කෙසේවෙතත් එ.ජා.ප. මන්ත්‍රීවරු 9 දෙනෙක් එම වාර්තාව පිළිබද සෑහීමකට පත් නොවී එහි ඇතැම් පාද සටහන් එකතු කර ඇත. නියම වාර්තාව පාද සටහන් නොමැතිව කියවන වාර්තාව බව ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරයා සදහන් කර තිබේ. මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට විවිධ බාධා එල්ල වූ බවත් විවිධ බාධාකිරිම් මැද එය අවසන් කිරිමට සහාය දුන් සැමට ස්තුති කරන බවද එහු ප්‍රකාශ කලේය.
2015 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කරන ලද බැදුම්කර නිකුත් කිරීම්වලදී, එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් විසින් මැදිහත්වීමක් කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාවට හෙළිඳරව් වී ඇති බවට එහි සදහන් කර ඇත. එසේම කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීම්වලදී, ඇතැම් ගනුදෙනුවල උපරිම පාරදෘශ්‍යභාවය නොමැති බව සහ එහිදී මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බවද කාරක සභාව නිරීක්ෂණය සටහන් කර ඇත. මේ අන්දමින් සිදු වී ඇති බැඳුම්කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉතා විශාල මූල්‍යමය ලාභ උපයාගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.
එම නිසා මෙම ගනුදෙනුවලට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දණ්ඩනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කර ඇත. එනම් අවශ්‍ය අදිකරණ ක්‍රියාමාර්ග ගැනීම, අදිකරණ හා දණ්ඩන ක්‍රියාවලිය පසුවිපරම් කිරීම මෙන්ම මින් ඉදිරියට එවැනි දෑ නොවන්නට වගබලාගැනීමේ වැදගත්කම වාර්තාවේ නිර්දේශ අතර ඉදිරිපත් කර ඇත.
එපමණක් නොව, එකී අයථා කටයුතු හේතුවෙන් රජයට හා මහජනතාවට සිදු වී ඇති අලාභ හෝ පාඩුව එකී වගකිව යුතු පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරමය ක්‍රියා මාර්ග ගත යුතු බව කාරක සභාව අවධාරණය කරයි.
මෙම බැදුම්කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු බවද ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද කෝප් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.