2017 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් 10වැනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අතර ඔක්තෝබර් 20වැනිදා සම්ප්‍රදායානුකුලව අයවැයට පෙර ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. විසර්ජන පනත් කෙටුම්පතේ තිබෙන්නේ රාජ්‍ය වියදම් පිලිබඳ ඇස්තමේන්තු පමණක් නිසාත්, රාජ්‍ය ආදායම් උපයා ගන්නා ආකාරය එහි සඳහන්ව නැති නිසාත්, විශේෂයෙන් මීළඟ වසරේ ආර්ථිකය ගමන් ගන්නා දිශානතිය පිලිබඳ යෝජනා එහි අඩංගුව නැති නිසාත් ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය පිලිබඳ සම්පූර්ණ චිත්‍රයක් එමගින් ලබාගත නොහැක. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා අයවැය කතාව සිදුකර අයවැය ලේඛනය ඉදිරිපත් කරන තුරු බලා සිටිය යුතුය. නමුත් විසර්ජන පනත් කෙටුම්පත මගින්ද රජය සිය ප්‍රතිපාදන විවිධ ක්ෂේත්‍ර වලට වෙන් කර ඇති ආකාරය ඉදිරිපත් කෙරෙන නිසා අපට එමගින් ලංකාවේ ආර්ථිකය 2017වසරේදී ගෙන යන්නට ආණ්ඩුව බලාපොරොත්තු වන මාර්ගය පිලිබඳ යම් අදහසක් ලබා ගත හැක. ‘හානා හීය පානා අඬහැරෙන් දැනේ’ යනුවෙන් ජනවහරේ කියැවේ. එනිසා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත නමැති අඬහැරය විමසා බැලිය යුතුය.
මූල්‍ය අරමුදලේ කොන්දේසි
ලංකාවේ ආර්ථිකය ගැන කියන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අමතක කර ඒ ගැන කතා කළ නොහැකිය. මෙතෙක් බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම අධික ලෙස ණය ලබා ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන ණය ලබා දෙන්නේ ආර්ථික සහ දේශපාලන කොන්දේසි මතය. ලොව සෑම රටකම ආර්ථිකය සිය වැඩපිළිවෙලට අනුගත කර ගැනීම සඳහාත්, ලොව සෑම රටක්ම ආර්ථික වශයෙන් තමන් මත රඳා පවතින පරාධීන ආර්ථිකයක් හිමි රටක් කිරීම සඳහාත් අධිරාජ්‍යවාදීන් භාවිතා කරන ව්‍යාපෘති අතර ණය ලබා දීමට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 2016 වසරේ ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා ආර්ථික කොන්දේසි පනවා තිබිණි.
තමන් ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන ණය මුදලටත් වඩා වැඩි ණය මුදලක් නිදහස් කිරීමට හේතුව ලංකාවේ ආණ්ඩුව ණය ලබා ගැනීමටත් පෙර සිටම සිය කොන්දේසි ඉටු කිරීම ආරම්භ කර පෙන්වූ ‘කැපවීම’ බව මූල්‍ය අරමුදලේ නිවේදනයක් මගින් ප්‍රකාශ කෙරිණි. එම කොන්දේසි අතර ප්‍රධානතම කොන්දේසි පහකි.
1. බදු ඉහල දැමීම හරහා රජයේ ආදායම් වැඩි කිරීම
2. ජනතා සුබසාධන වෙනුවෙන් වැය කරන මුදල් කප්පාදු කර රජයේ වියදම් අඩු කිරීම
3. ශ්‍රී ලංකන් එයාර් වැනි තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම
4. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වල ආරක්ෂාවට පනවා තිබෙන ‘වෙළඳ බාධක’ අහෝසි කිරීම
5. විනිමය පාලනයේ බලතල මහ බැංකුවෙන් ඉවත් කර වෙළඳපල උච්ඡාවචනයට විවෘත කිරීම
මෙම කොන්දේසි අතරින් පළමු කොන්දේසිය පොදු ජනතාව මත වැට් බදු බර ඉහල දැමීම හරහා ඉටු කරන ලදී. තුන්වන කොන්දේසියට අනුව රාජ්‍ය ආයතන ගණනාවක් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන අතර එයට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයේ විරෝධතා පසුගිය කාලයේ දිනපතාම පාහේ දැක ගන්නට ලැබිණි. ‘ඉට්කා’ වැනි ගිවිසුම් කවුරු විරුද්ධ වුවත් අත්සන් කරන බව අගමැතිවරයා පවසන විට ඔහු පෙනී සිටින්නේ හතර වන කොන්දේසිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි. පස්වන කොන්දේසිය වන මූල්‍ය වෙළඳපල ලිබරල්කරණය කර ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම පසුගිය අයවැයෙන් යෝජනා කරන ලද මුත් පැන නැගුනු ජනතා විරෝධය මත එය ට=යතාර්ථයක් කර ගැනීමට නොහැකි විය. ඒවා යලිත් වරක් මෙවර අයවැයේදී කරලියට ඒමට නියමිත බව පමණක් දැනට සටහන් කර තැබිය හැක. පසුගිය අයවැය මගින්ද විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පාසල් නිල ඇඳුම් සහ පොහොර සහනාධාරය කප්පාදු කිරීම වැනි යෝජනා හරහා සමාජ සුබසාධන සඳහා වන රාජ්‍ය ප්‍රතිපාදන කප්පාදු කර රාජ්‍ය වියදම් අඩු කිරීමට උත්සාහ දරුවත් ඒ සෑම පියවරකටම එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වීම නිසා ඒවා මුළුමනින් සාර්ථක වුයේ නැත. මෙවර ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පතින් පෙනී යන්නේ රාජ්‍ය වියදම් අඩු කිරීමේ බැනරය යටතේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමේ උපායමාර්ගයක ආණ්ඩුව සිටින බවය. එමෙන්ම ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ජනතාවගේ බඩට ගහන අයවැයක් වීමට ඉඩ තිබෙන බවය. කොන්දේසි ඉටු කිරීම නිසා ආණ්ඩුවට අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වලින් ‘හොඳ ළමයා’ සහතිකය ලබාගත හැකි මුත් ජනතාවගේ සංවිධානාත්මක විරෝධයක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව නැගී ඒමට ඉඩ ඇති බවය. එම අනාවැකි අප පවසන්නේ කවර කරුණු මතදැයි මීළඟට විමසා බලමු.
කපන්නේ මොන වියදම්ද?
මෙවර ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පතට අනුව රාජ්‍ය වියදම් 2016දී රුපියල් බිලියන 1941.4 ක අගය 2017දී රුපියල් බිලියන 1819.5 දක්වා රුපියල් බිලියන 21.9කින් අඩු කර තිබේ. මෙලෙස කපා හැරෙන්නේ ජනතාවගේ ජීවිත වලට අතිශයින්ම සංවේදී ක්ෂේත්‍ර වල රාජ්‍ය ප්‍රතිපාදනය. අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. උසස් අධ්‍යාපනය සඳහා වන මුදල් දිගින් දිගටම කප්පාදු කෙරෙමින් පවතී. දැනට ඊට අදාළ අමාත්‍යාංශය නම් කර තිබෙන්නේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය ලෙසය. මෙලෙස කිසිම අන්තර් සම්බන්ධයක් නැති උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මහාමාර්ග ක්ෂේත්‍රය එකිනෙකට සම්බන්ධ කරනුයේ උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ඉතා අඩු බව වසන් කිරීමටය. මෙම අමාත්‍යාංශය සඳහා 2015 අතුරු අයවැයෙන් වෙන්කල රුපියල් බිලියන 230ක මුදල 2016දී රුපියල් බිලියන 171 දක්වාත් නව විසර්ජන පනතට අනුව 2017දී රුපියල් බිලියන 163.3 දක්වාත් කපා හැර තිබේ. මෙම මුදලිනුත් වැඩි කොටස මාර්ග සංවර්ධනය සඳහා යෙදවෙන අතර උසස් අධ්‍යාපනය සඳහා ඇත්තේ සොච්චමකි. නිදසුනක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වියදම් 2016දී රුපියල් බිලියන 15.9 සිට 2017දී රුපියල් බිලියන 10.5 දක්වා තුනෙන් එකකින් කප්පාදු කර ඇත. ආණ්ඩුව පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා අනුග්‍රහය දෙනවිට කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දෙන අතරම රාජ්‍ය විශ්ව විද්‍යාල සංවර්ධනය කර පුළුල් කරන බවය. එය අමූලික බොරුවක් බව මෙවර උසස් අධ්‍යාපනයේ වියදම් කප්පාදු කර ඇති ආකාරයෙන් ඔප්පුවේ. ආණ්ඩුව කරන්නේ උසස් අධ්‍යාපනයේ පුද්ගලික අංශයේ කොටස පුළුල් කරන අතර රාජ්‍ය කොටස තව තවත් පටු කිරීමයි. එනිසා ප්‍රමාණාත්මකව මෙන්ම ගුනාත්මකවද නිදහස් අධ්‍යාපන ධාරාව පිරිහී පහල පන්තියේ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වනු ඇත.
පාසල් අධ්‍යාපනයේ තත්වයද මෙලෙසමය. 2016 අයවැයෙන් පාසල් අධ්‍යාපනය සහ සංස්කෘතික අමාත්‍යංශයට කලින් අයත්ව තිබු ආයතන කිහිපයක් සඳහා වෙන් කළ බව කියූ මුදල රුපියල් බිලියන 185.9කි. මෙය විශාල බොරුවක් වන්නේ එයින් රුපියල් බිලියන 121ක්ම පාසල් ගොඩනැගිලි සහ ඉඩම් වල වටිනාකම නිසාය. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීමේ පොරොන්දුව මේ ආණ්ඩුව බලයට පත්වීමේදී දුන් ප්‍රධාන පොරොන්දුවකි. එම පොරොන්දුව ඉටු නොකර, ඉටු කළ බවට ජනතාව රැවටීමට පසුගිය අයවැයේදී පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ගොඩනැගු පාසල් ගොඩනැගිලි සහ ඉඩම් වල වටිනාකමද මේ ආණ්ඩුව අධ්‍යාපනයට කරන වියදමක් ලෙස හුවා දක්වා තිබිණි. ඒ බොරුව හෙළිදරව් වූ නිසා 2017දී එය ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 76.5ක් පමණි. එම මුදලද සම්පූර්ණයෙන් පාසල් අධ්‍යාපනයට නොවේ. එයින් රුපියල් බිලියනයක් පමණ, එනම් මිලියන 923ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. මිලියන 359ක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවටය. මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් තවත් රහසක් හෙළිවේ. පාසල් පද්ධතිය පවත්වාගෙන යාම සඳහා, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, නඩත්තු ගාස්තු, සේවක පඩිනඩි ආදිය සඳහා වන පුනරාවර්තන වියදම් 2016දී රුපියල් බිලියන 46 සිට 2017දී රුපියල් බිලියන 36 දක්වා 20%කින් කප්පාදු කර ඇත. මේ කියන්නේ එක්කෝ පාසල් සිය ගණනක් වසා දමන බවය. නැතිනම් පාසල් නඩත්තුවේ බර දෙමව්පියන් මත පටවන බවය. ලබන අවුරුද්ද ජනතාවගේ බඩට වදින අවුරුද්දක් වන පෙර නිමිති පෙනෙන බව අප පැවසුවේ ඒ නිසාය.
තවත් කැපිලි
කප්පාදු කර ඇති වියදම් අතර සෞඛ්‍ය සේවයේ ප්‍රතිපාදන සහ පොදු ප්‍රවාහන සේවයේ ප්‍රතිපාදනද තිබේ. සෞඛ්‍ය සේවය සඳහා 2016දී වෙන් කළ රුපියල් බිලියන 174.9, ලබන වසරේදී රුපියල් බිලියන 160.9 දක්වා කපා හැර ඇත. මෙසේ වන්නේ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ජනතාවගෙන් මුදල් එකතු කිරීමට සිදුවන, එසේ ජනතාව රුපියලෙන් රුපියල එකතු කර මිලදී ගත යන්ත්‍රයත් අවශ්‍ය යටිතල පහසුකම් සඳහා වන මුදල් රජයෙන් වෙන් නොකිරීම නිසා පාවිච්චි කරගත නොහැකිව සිටින රටකය. වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමට රජයේ මුදල් වෙන් නොකරන නිසා කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් නවතා දමා ඇති රටකය. මහනුවර රෝහලේ හෘද රෝග ඒකකය කඩා වැටීමේ අවදානමක් සහිත ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබීමේ සිට මෙවැනි උදාහරණ සිය ගණනක් ඉදිරිපත් කර ඇත. 2017වසරේදී නිදහස් සෞඛ්‍ය පහසුකම් තව දුරටත් කප්පාදු කරන නිසා සිය ඥාතියෙකුගේ ප්‍රතිකාර වෙනුවෙන් මුදල් එකතු කිරීමට බස් රථ වලට, දුම්රිය වලට නගින අයගේ සංඛ්‍යාව තවත් ඉහල යනු ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා වන ප්‍රතිපාදන වසරින් වසර අඩු කරන අතර මෙවර එය බින්දුවටම අඩු කර තිබේ. ප්‍රවාහනය සඳහා 2015 අතුරු අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 78ක මුදල 2016 අයවැයෙන් රුපියල් බිලියන 58දක්වා හතරෙන් එකකින් කපාදු කළ අතර 2017 වසර සඳහා එය රුපියල් බිලියන 51.2 දක්වා තවදුරටත් කප්පාදු කර ඇත. දැන් තිබෙන්නේ දුම්රියමාර්ගයක සිල්පර කොටයක්වත් අලුතෙන් දැමිය නොහැකි, බස් රථයක අමතර කොටසක් ගැනීමට මුදල් නැති නිසා එය ධාවනයෙන් ඉවත් කරන තත්වයකි. පොදු ප්‍රවාහනය මෙලෙස විනාශ කරන්නේ මැති ඇමතිවරු ජනතා බදු මුදලින් කෝටි ගණන්වල සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ සිද්ධියේ උණුසුම මැකී යාමටත් පෙරය.
වැඩි වන්නේ මොනවාද?
රජයේ ආදායමේ 90%ක්ම සංයුක්ත වන්නේ ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලිනි. නමුත් ඒ බදු මුදල් වියදම් කරන්නේ ජනතාව වෙනුවෙන්ද? නැතිනම් පාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන්ද? මේ ප්‍රශ්නය ගැඹුරින් විමසිය යුතුව තිබේ. මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනතාවගෙන් එකතු කරන භාණ්ඩ හා සේවා මත බදු වල මුදලින් අඩක් පමණ වියදම් කෙරෙන්නේ ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශ සඳහාය. ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 284ක් සහ මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 242.8ක් ලෙස රුපියල් බිලියන 500කටත් වඩා වියදම් කරද්දී කෘෂිකර්මය වෙනුවෙන් රුපියල් බිලියන 21කි. ධීවර කර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන 5.5කි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් රුපියල් බිලියන 8කි. ප්‍රාථමික කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 3.1කි. වැවිලි කර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන 8කි. කම්කරු අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 5.6ක් පමණි.
මෙලෙස ජනතාවගේ සෑම අයිතියක්ම කප්පාදු වෙද්දී, සෑම සමාජ ආරක්ෂණ සේවාවක්ම කප්පාදු වෙද්දී, සමාජ සුබසාධන සඳහා රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරෙද්දී, ඇතැම් වියදම් ඉහල නංවා තිබේ. මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වියදම 2016දී රුපියල් බිලියන 2.3ක සිට 2017දී රුපියල් බිලියන 6.45 දක්වා තුන් ගුණයකින් ඉහල නංවා ඇත. ජනාධිපතිවරයාගේ දිනක වැය රුපියල් කෝටි 1.76කි. එනම දවසකට ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරකටත් වඩා වෙන්කර ඇත. අගමැතිවරයා පසුගිය වසරට වඩා රුපියල් කෝටි 120ක් වෙන්කරගෙන ඇත. අගමැති වැය ශීර්ෂය 2016දී රුපියල් බිලියන 0.4 සිට 2017දී රුපියල් බිලියන 1.25 දක්වා තුන් ගුණයකින් ඉහල ගොස් තිබේ. තව තවත් සංඛ්‍යා ඉදිරිපත් කළ හැකි වුවත් සිදුවන දේ තේරුම් ගන්නට මෙය ප්‍රමාණවත්ය. මේ අයවැය සැකසෙන්නේ කවුරුන් වෙනුවෙන්දැයි පැහැදිලිය. ඒ ජනතාව වෙනුවෙන්නම් නොවේ.
කළ යුත්තේ කුමක්ද?
මෙවර ඉදිරිපත් කෙරෙන අයවැයේ තරම මේ පෙර නිමිති වලින් අනුමාන කළ හැකිය. එය අධිරාජ්‍යවාදී නව ලිබරල් ප්‍රතිපත්තිය තවත් තහවුරු කරන, ජනතාවගේ අයිතීන් උදුරා ගන්නා අයවැයක් වනු ඇත. පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදීද මෙවැනි ජනතා විරෝධී යෝජනා ගණනාවක් ඉදිරිපත් වුවත් ඒවායින් බහුතරයක් පසුපසට හැරවීමට ජනතාවගේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වය සමත් විය. මෙවරද එය කළ යුතුය. මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව සටන් වැදී ඒවා පරාජය කළ යුතුය. එහෙත් එපමණක් ප්‍රමාණවත් නොවේ. මේ කොල්ලකාරී ආර්ථික-සමාජ- දේශපාලන ප්‍රතිපත්තිය තිබෙන තුරු හැමදාම අපට සිටින්නට වන්නේ සටන් බිම් වලය. මේ එකිනෙක ක්‍රියාමාර්ග වලට එරෙහි විරෝධය මේවායේ පදනම වන නව ලිබරල් ධනවාදී ආර්ථික-සමාජ-දේශපාලන ප්‍රතිපත්තියට එරෙහි සටනක් බවට වර්ධනය කළ යුතුය. ජනතා හිතකාමී, පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් දිනා ගැනීම දක්වා අරගලය වර්ධනය කළ යුතුය. සැබෑ ප්‍රතිකාරය වන්නේ රෝග ලක්ෂණ වලට කරන අත්බෙහෙත් නොව රෝග නිධානයට කරන ප්‍රතිකර්මයයි.
පුබුදු ජයගොඩ
ලක්බිම පුවත්පතින්