වැලිකඩ බන්ධනාගාරය සහ ඊට සම්බන්දිත අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා හොරණ පිහිටි සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අත්පත් කරගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇත.
ඒ අනුව, බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

