රත්කරන්නෙ ජනවාරිය නෙවෙයිලු! ජ.වි.පෙ. උද්ඝෝෂණය පෙබ. 01ට කල්දමයි!

ජනවාරියේ ආරම්භ කරන බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කළ විරෝධතාව පෙබරවාරි 01වැනිදාට කල්දමා ඇති බව අනාවරණය වේ. පෙබරවාරි 01වැනිදා කොළඹ වරාය ආශ්‍රිතව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකා මේ බව පැවසුවේ අද (23) බත්තරමුල්ල, පැලවත්තහි පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදීය.

මහජනතාවගේ දේපොළක් ලෙස සංවර්ධනය කළ හැකි මෙම ආයතන විකිණීම වහා නතරකිරිමට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන බව පැවසූ ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ මීට එරෙහිව කටයුතු කරන ලෙසයි.

පසුගිය වසරේ අයවැය විරෝධතා මතුවෙද්දි කිසිදු විරෝධතාවයකට සම්බන්ධ නොවී ප්‍රකාශයන් නිකුත් කරමින් ජ.වි.පෙ. නායකයා කීවේ ජනවාරිය රත්කරන බවයි. එහෙත් එවැනි කිසිදු විරෝධතාවක් ආරම්භ කරන්නට ජනවාරියේදී ජ.වි.පෙ. උනන්දු නොවීම ගැන ජනතාවගේ විවේචන හා ජනමාධ්‍යෙව්දීන්ගේ උපහාසයන් ජ.වි.පෙ. වෙ. එල්ල විය. අද පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් ආන්ඩුවට එරෙහි සටන පෙබරවාරි 01වැනිදා අරඹන බව අනුර දිසානායක මන්ත්‍රීවරයා කීය.

“වරාය ආශ්‍රිතව වරාය වෘත්තීය සමිති මෙන්ම අනෙකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව දියත් කිරීමට මේවනවිට තීරණය කර තිබෙනවා. පක්‍ෂයක් ලෙස අප එම කාර්යයට මැදිහත් වන අතර ජනතාව ලෙස සියලු දෙනාම එක්වී මෙම විනාශකාරී ප‍්‍රයත්නය නතර කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග, කළු පටි ව්‍යාපාර, උද්ඝෝෂණ ආරම්භ කරනවා. මේ ආණ්ඩුව රාජ්‍ය දේපළ විකිණීම වේගවත් කොට තිබෙනවා. එනිසා ඊට එරෙහිව අපත් සටන් ක්‍රියාමාර්ග වේගවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් පොදු ජනතාවට ආරාධනා කරනවා.”