ඇමතිකම දරණ අතර, කඩාකප්පල්කාරින්ට මුහුණ දෙන වගකීමක් භාරගන්න සූදානම්!

රටේ ඉදිරි ගමන සහ පරිපාලනය කඩාකප්පල් කර දැමීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් ඇති හෙයින් ඊට මුහුණ දීම සඳහා නව සංවිධානයක වගකීමට ජනාධිපතිවරයා විසින් තමන් යෝජනා කළ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

කෙසේවෙතත්, අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහළ තනතුරක් භාරගෙන කටයුතු කරන ලෙස නොවන බව සරත් ෆොන්සේකා බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත. “ආරක්ෂක අංශ නොවෙයි, හදිසි අවස්ථා පිළිබඳව, හදිසි ගැටළු සහගත තත්වයන් පිළිබඳව සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයාම සහ කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයක් ඇති කර එම නව සංවිධානය මා යටතට පත් කරන්න අවශ්‍යයි කියන යෝජනාවයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ,” යැයි ෆොන්සේකා සඳහන් කරයි.

අමාත්‍යාංශ, පොලිසිය සහ ආරක්ෂක අංශ ඇතුළුව වෙනත් ආයතන නව සංවිධානයට සම්බන්ධ වුවද නව පදවිය තුළ තමා ආරක්ෂක අංශවලට අණ දීමක් සිදු නොකරන බව අවධාරණය කරයි.  නව පදවිය තවමත් යෝජනාවක මට්ටමේ පවතින බව සඳහන් කළ ඇමතිවරයා එවැනි තනතුරක් පැවරුවහොත් එය භාර ගන්නේ යැයිද පවසා ඇත.

දේශපාලනයට ප්‍රවේශවීමට පෙරාතුව හමුදා නිලධාරියකු ලෙස ඔහුගේ ක්‍රියාදාමය පිළිබද විවිධ චෝදනා එල්ල වී ඇත. 1987 සමයේ ආරම්භ වූ අරගලය මර්දනය කිරීමට අමානුෂික ලෙස කටයුතු කළ බවටත් 2007 ආරම්භ වූ යුද්ධය තුළ සිදු වූ බව සනාථ වී ඇති අපරාධවලට මෙන්ම දේශපාලන අවශ්‍යතාවලට අනුව විරුද්ධවාදින් හා මාධ්‍යවේදින් මර්දනය කිරීමටත් දායක වූ බවට ෆොන්සේකා වෙත චෝදනා එල්ල විය. එහෙත් මෙම චෝදනා සම්බන්ධව රාජපක්ෂ පාලන සමයේ හෝ වත්මන්පාලන සමයේ සරත් නේසේකා අධිකරණය හමුවට ගෙන යාමක් සිදු නොවිණි. 2009 ඔක්තෝබර් මාසය වනවිට රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති කරගත් මතභේද හා වංචා දූෂන චෝදනා හේතුවෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් ඉවත් වූ සරත් ෆොන්සේකා ජනතා විමුක්ති පෙරමුණ් ආරාධනය හා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතිව 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ජනාධීපතිඅපේක්ෂකයා ලෙස තරග කර පරාජයට පත් විය. ඉන්පසුව යුද හමුදා චෝදනා මත හමුදා අධිකරණවල හා වෙනත් අධිකරණ හමුවට ෆොන්සේකා ඉදිරිපත් කළද රාජපක්ෂ පාලනය පෙරලී යාමෙන් පසුව හවුල් ආන්ඩුවට සහය දැක්වීම හේතුවෙන් ඔහුට ඇමති ධුරයක් ලැබුණි.