ඛෙත්තාරාමයේ විදුලි බුබුළුවල කළුවර

kettharamaya1

පාකිස්තානු – ඉන්දියා තරගාවලියක් ශ‍්‍රී ලංකාවේ දී ක‍්‍රීඩා කිරීමට පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අවසර ලබාදී ඇති බව වාර්තාවීමත් සමඟ ලාංකික ක‍්‍රිකට් රසිකයන් අමන්දානන්දයට පත්වුණා. ඒ අපේ අසල්වැසි රටවල් වන මේ රටවල් දෙකේ දක්ෂ කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩා කෞශල්‍යය වින්දනය කිරීමට අගනා අවස්ථාවක් ලැබෙන නිසා.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානය සමඟ ක‍්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට අවසර ඉල්ලා තිබුණා. වසර 2007න් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර සම්පූර්ණ ක‍්‍රිකට් තරගාවලියක් පවත්වා නැහැ. විවිධ ආරක්ෂක සහ දේශපාලන හේතු නිසා මේ තරග පැවැත්වීම කල් දැමුණා. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව මෙම තරගය පැවැත්වීම සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමට එකඟතාව පළ කර තිබුණා. ආරම්භයේදී මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කළත් එය ඉන්දියාව විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට එම අවස්ථාව හිමිවූ බව මාධ්‍ය වාර්තා කළා.

ඒ අතර මෙම තරගාවලිය නොපැවැත්වීමට ඉඩක් ඇති බවත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළා. ඒ මාධ්‍ය වාර්තා පළවුණේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඇත්තේ අවම ඉඩක් බව ඉන්දීය ක‍්‍රිකට් අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ජරසජසබදෙ පුවත් සේවය වාර්තා කිරීමත් සමඟ. තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සිය අනුමැතිය ලබාදුන්නත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන තෙක් ඒ පිළිබඳව සිය ස්ථාවරය ප‍්‍රකාශ කර නොමැති වීම මේ අවිනිශ්චිතභාවය වර්ධනය කළා. ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මෙන්ම ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද පවසා ඇත්තේ සිය තරගාවලිය පැවැත්වීමට ඇත්තේ අවම ඉඩක් බව. මේ ගැන තවමත් අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත්වී නැහැ.

කොහොම වුනත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් මේ ඉන්දු-පාකිස්තාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටිනවා. තවත් බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳ කරුණු අනාවරණය වීම සිදු වුණේ මේ සූදානමත් සමඟ. මේ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය ඇතුළු ක‍්‍රීඩාංගණ කිහිපයක. ඉදිරි පාකිස්තානු හා ඉන්දීය තරගාවලිවල දිවා රාත‍්‍රී තරග සඳහා වෙන් කර තිබෙන ආර්. පේ‍්‍රමදාස (ඛෙත්තාරාම) ක‍්‍රීඩාංගණය ආලෝකවත් කිරීමට විදුලි බුබුළු 200ක් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා. මේ ඉල්ලීම කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි විදුලි ඉංජිනේරු ප‍්‍රසන්න ජිනරතන විසින් බව පැවසෙනවා. මේ විදුලි බුබුළු ප‍්‍රශ්නය කාලයක් තිස්සේ ප‍්‍රශ්නකාරී තත්වයක්. මීට පෙර මේ විදුලි බුබුළු ප‍්‍රශ්නය කෝප් කමිටුවේත් සාකච්ඡුාවට ගැනුනා.

කෙසේවුවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව තිබූ විදුලි බුබුළු 367 ක් විවිධ කාරණා සඳහා ලබාදීමෙන් පසුව නැවත ලැබී ඇත්තේ 5ක් පමණක් බව මීට පෙර ප‍්‍රසන්න ජිනරතන, කෝප් කමිටුව හමුවේ කරුණු දක්වමින් කියා තිබුණා. අදාළ විදුලි බුබුළු වෙනත් කාරණාවන් සඳහා ලබාදී ඇත්තේද ඔහු විසින්ම නිසා මේ සිදුවීම් පසුපස විශාල මූල්‍ය අක‍්‍රමිකතාවයක් තිබෙන බව පැහැදිලියි. මේ විදුලි බුබුළු අස්ථානගතවීම සම්බන්ධයෙන් මේවන විට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිල්ලක් ද විභාගවෙමින් පවතිනවා. අලූ‍තින් විදුලි බුබුළු ඉල්ලන්නේ ඒ පරීක්ෂණ නිමා නොවූ තත්වයක් තුළ. ඒ වගේම අදාළ විදුලි බුබුළු අවශ්‍යතාව විදුලි ඉංජිනේරුවා විසින් ඉදිරිපත්කරන තෙක් ඛෙත්තාරාම ක‍්‍රීඩාංගනයේ කළමනාකරු ලෙස සිටින ගොඞ්ෆ‍්‍රි දබරේරා විසින් ඉදිරිපත් නොකිරීමද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා.

ක‍්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන ජනරළේ අපි අවධානයෙන්. මේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව භාවිතා කරමින් ක‍්‍රිකට් ලොක්කන් විසින් කරනු ලබන මහා පරිමාණ වංචා කන්දක එක වැලි කැටයක් පමණයි.

 දිනිත් හෙට්ටිආරච්චි