කුමාර් ගුණරත්නම් මගේ පාසල් මිතුරෙකි. දේශපාලන අරගලයේ සගයෙකි. ඔහුගේ ළමා කාලයේ සිට සරසවි ජීවිතය දක්වාත් ඉක්බිතිව දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුළත් මිතුරකු ලෙසින් මා ලත් අත්දැකීම් රාශියකි.
අප දෙදෙනාම, 1971 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්ව දහ වැනි ශ්‍රේණිය දක්වා එහි අධ්‍යාපනය ලැබූවෙමු. ඉන් අනතුරුව, උසස් පෙළ ඉගෙනීම සඳහා පින්නවල මධ්‍ය මහා විදුහලටත් පසුව සරසවි අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිiාලයටත් අපි දෙදෙනාම ගියෙමු. ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් ජවිපෙ දේශපාලනයට අවතීර්ණ වූ අතර කුමාර්, උසස් පෙළ හදාරන අවධියේ සිටම ජවිපෙ ශිෂ්‍ය අංශයට එක්වී ඒ තුළින් දේශපාලන කටයුතුවලට අවතීර්ණ විය. ඉන් අනතුරුව, අප දෙදෙනාම පූර්ණකාලීනයන් ලෙස ජවිපෙ දේශපාලනයේ නිරත වූයෙමු. පසුගියදා කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා තුරුම අපි නිතර අදහස් හුවමාරු කරගනිමින් දේශපාලන සංවාදයක යෙදී සිටියෙමු. මගේ මතකයේ හැටියට කුමාර් සිය 25 වැනි උපන්දිනයේදීද සිටියේ සිරගතවය. එකල ඔහු හමුදා අත්අඩංගුවේ පසු වූයේය. 50 වැනි වියට එළඹුණු පසුගිය 18 වැනිදා ඔහු සිටියේ කෑගල්ල බන්ධනාගාරය තුළය. ගතවූ 25 වසර පුරාමත් ඔහු වරින් වර සිරගත කෙරුණේ වාමාංශික දේශපාලනයේ ක‍්‍රියාකාරීත්වය නිසාය. සිය දේශපාලන අරගලය වෙනුවෙන් ඔහු කළ කැපවීම හා ඔහු තුළ වූ අප‍්‍රතිහත ධෛර්ය ලෝකයේ ඕනෑම වාමාංශික ක‍්‍රියාකාරිකයකු විප්ලවවාදියකු සතු වූ කපකිරීමට නොදෙවැනි විය.

කුමාර් පිළිබඳ කුඩා කළ මගේ මතකයේ ඉතාම තදින් ඇඳුණු සිද්ධියක් තිබේ. අප දෙදෙනාම 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී පාසල් සමිතිවාරයේ රඟදැක්වූ ළමා නාට්‍යයකට සම්බන්ධ වූයෙමු. එහිදී ගමරාළගේ චරිතයට පණ දුන් ඔහුට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය. ඔහු ඇඳසිටි සරම නාට්‍ය රඟදක්වන අතරමඟදී බුරුල් විය. නාට්‍යය බලමින් සිටි ගුරුවරුන්ද සිසුන්ටද ඒ දැක සිනහව නතර කරගැනීමට නොහැකි විය. එහෙත් ඔහු කෙසේ හෝ තම සරම එක අතකින් අල්ලාගෙන නාට්‍යය අවසානය දක්වාම චරිතය තුළ සිටියේය. එසේම ඔහු ක‍්‍රීඩයකු වශයෙන් පාපන්දු, එල්ලේ, වොලිබෝල්, බැඞ්මින්ටන් හා ක‍්‍රිකට් ක‍්‍රීඩා සඳහා දක්ෂතා දැක්වූයේය. පාසල් වොලිබෝල් හා එල්ලේ ක‍්‍රීඩා කණ්ඩායමද නියෝජනය කළේය.
අප දෙදෙනාටම දේශපාලන උනන්දුවක් ඇති වූ පළමු අවස්ථාව වූයේ 1977 මහමැතිවරණය බව මගේ මතකයයි. 1977 කෑගල්ල නගරයේ පැවැති බොහෝ රැස්වීම් ඇමතූ කථිකයන්ගේ ඉරියව් හා ඔවුන්ගේ වාග් විලාසයන් යනාදිය අපවෙත මහා උනන්දුවක් ඇති කරවීය. 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියද මහ මැතිවරණයේදී තරග කරන ප‍්‍රධාන අපේක්ෂකයන් පිළිබඳ මනා දැනීමක් අප වෙත විය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අපගේ කුතුහලය ඇති වූයේ 1978 රෝහණ විජේවීරයන් නිදහස්ව පැමිණීමෙන් පසු රටපුරා පැවැත්වූ රැස්වීම් මාලාවත් සමඟිනි. දැනට කුමාර් රඳවා සිටින කෑගල්ල බන්ධනාගාරයට පහළින් ඇති නගර සභා පිටියේ රැළියකට රෝහණ විජේවීර පැමිණියේය. 8 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියදී අපි මහත් උනන්දුවකින් ඊට සහභාගි වීමු. මුහුණ පුරා දිගු රැුවුලක් වවාගෙන චතුර කථිකයෙක් විදහා පෑ මිනිසා පිළිබඳ බොහෝ පැහැදීමක් අප තුළ ඇති විය. ඒ කාලය තුළ එන්.එම්. පෙරේරා විසින් කළ ආර්ථික රටාව හා අයවැය, පිළිබඳ දේශනයද අප තුළ බොහෝ පැහැදීමක් උපදවන ලදී. 1978 අගභාගයේ කෑගලූ නගරශාලාවේ පැවැත් වුණු එම දේශනයෙන් එජාපය හඳුන්වා දුන් ‘විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති’ ඉතා තර්කානුකූල ලෙස විවේචනය කිරීම අපට මහත් ආශ්වාදයක් විය.
මගේ මතකය හැටියට කුමාර් ගුණරත්නම් සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අත්පොත් තැබුවේ 1981 වසරේ අගභාගයේදීය. ඒ වන විට ඔහුගේ සොයුරු රංජිදන්, පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු වීමද ඔහුට ඒ සඳහා එක්තරා අනුබලයක් වූවාට සැක නැත. පින්නවල මධ්‍ය මහා විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු ජවිපෙ අධ්‍යාපන පන්තිවලට සහභාගී වූ බව අනාවරණය විය. පාසල අවසානයේ පාසල් බස් රථයෙන් කෑගල්ල බලා එන අතරතුර ඔහු සමහර දිනවල හිරිවඩුන්න හන්දියෙන් බැස ගියේය. මෙසේ අතරමඟින් බැස යාමට හේතුව විමසූ විට ඔහු මට කාරණය පැහැදිලි කළේය. ඔහු පමණක් නොව එකල අපගේ පන්තියේ කිහිපදෙනෙක් ජවිපෙ පන්ති පහට සහභාගි වූහ. ඒ පිළිබඳව එකල හරිහැටි තීරණයක් ගැනීමට නොහැකි වූ නිසා මම ඔවුන් සමඟ යාමෙන් වැලකී සිටියෙමි. එහෙත් පොත් පිටුවල ඉතා කුඩා අකුරින් ලියූ සටහන් කුමාර් මට පෙන්වීය. එක්දිනක දේශනයට ගමනායක සහෝදරයා පැමිණි බව ඔහු මා සමඟ කීවේය.
මෙසේ ජවිපෙ පන්ති සඳහා සහභාගි වූ බොහෝ දෙනෙක් අනිකුත් සිසුන් සමඟ තම අදහස් දක්වමින් දේශපාලන වාද විවාද කළහ. 82 ජනාධිපතිවරණය ආසන්න කාලය නිසා ජවිපෙ ක‍්‍රියාකාරීත්වයට මැදිහත් වීමටත් ප‍්‍රචාරණ කටයුතුවලටත් සහය වූ ආකාරය මට මතකය. මේ අවදියේදී කුමාර් දේශපාලන සාහිත්‍ය ඇසුරු කිරීම ආරම්භ කළේය. කුමාර්ගේ පාසල් කාලයේදීද ඔහුගේ තමිල් ජාතිකත්වය නිසා ඔහුට බොහෝ කෙනෙහිළිකම් විඳින්නට සිදු විය. 9 වැනි ශ්‍රේණිවලදී ඔහු හා අමනාප වූ ඇතැම් සිසුහු‘දෙමළා’ යන නමින් ඔහු ඇමතූහ. ඔහු සිසුන් සමඟ ගැටුණේ අසාධාරණයට විරුදධ වෙමිනි. එහෙත් දෙමළා නමින් ඔහු ඇමතු විට ඔහු එයින් කෝප වූයේ නැත. ඒ වෙනුවට සැහැල්ලූවෙන් සිනාසී ”ඔව් මම දෙමළ”තමයි යනුවෙන් පැවසීමට කුමාර් පැකිළුණේ නැත.
වෙනත් පංතියක සිසුවකු වරක් අප හා නිතර ‘කොකු’ දාගත්තේය. ඔහු කුමාර්ට ‘දෙමළා’ කියා අවමන් කිරීමට තැත් කළේය. කුමාර් ඔහුට පිළිතුරු දුන්නේ ”මම දෙමළ වුණාට සිංහලයි, බුද්ධාගමයි දෙකම පාස්නෙ. ඔයා ඒ දෙකම ෆේල් නේද” කියමිනි.
1980න් පසු උතුරේ අරගලය උග‍්‍ර අතට හැරෙමින් තිබිණි. 1981 දී අපි උසස්පෙළ හැදෑරීම සඳහා පින්නවල මධ්‍ය මහා විදුහලට ඇතුළත් වූයෙමු. එහිදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් කුමාර් හැඳින්වීමට දැමූ ‘කුට්ටමනී’ යන නම විදුහල පුරා ප‍්‍රසිද්ධ විය. 6, 7 ශ්‍රේණිවල කුඩා ළමුන් ‘කුට්ටමනී, කුට්ටමනී’ යනුවෙන් කෑගසන්නට පුරුදු වී සිටියහ. කිසිවක් කියන්නේ නැතිව සුපුරුදු සිනාවෙන්ම ඔවුනට ප‍්‍රතිචාර දැක්වූ නිසා කෙටිකලකදී ඔහු කා අතරත් ඉතා ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය. හැම සමිතිවාරයකදීම ඔහුගේ ගීතයක් සැමදෙනාගේම ඉල්ලීම විය. ඔහු දක්ෂ ලෙස කපුගේ, ටී.එම්, ජෝතිපාල වැනි ගායකයන්ගේ ගීත ගයන්නට හුරු වී සිටියේය. පසුකලෙක අත්අඩංගුවේ පසුවන විටදී සොල්දාදුවන් පවා ඔහුගේ ගීත ඇසීමට ප‍්‍රිය කළහ. පේරාදෙණිය සරසවියේ පළමු වසරේ සිසුවකුව සිටියදී කුමාර් හොඳම ගායකයා ලෙස නම් කෙරිණි.
කුමාර් සරසවි ජීවිතය තුළ පළමු වසරේදීම ලංකාවේ දේශපාලන තත්වය බොහෝ සේ වෙනස් වෙමින් තිබුණි. අධ්‍යාපන අයිතීන් රැකගනු පිණිස සරසවි ශිෂ්‍යයන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යටතේ වැඩ කළහ. යූඑන්පී ආණ්ඩුවේ අධ්‍යාපන පිළිවෙත්වලට එරෙහිව පාසල් මට්ටමින් විරෝධතා ආරම්භ කරන ලදී. ඔහු එම ක‍්‍රියාකාරීත්වයට සක‍්‍රිය ලෙස සහභාගි විය.
කෙසේ වෙතත් පළමුවරට කුමාර්ව පැහැර ගනු ලැබුවේ 1987 වසරට ආසන්නයේදීය. කෑගල්ලේදී පැහැරගනු ලැබූ ඔහුව රඳවා තබාගත්තේ ‘ගලගෙදර’ පොලිසියේය. අනතුරුව නුවර පොලිසියේද ඉන් අනතුරුව බෝගම්බර බන්ධනාගාරයේද ඔහුව රඳවා තබා ගන්නා ලදී. පොලිසියකටත් බෝගම්බර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව මැගසින් බන්ධනාගාරයටත් කුමාර්ව බැලීමට ගිය ඔහුගේ මව සමඟ මමද එක් වුනෙමි. ඔහුව බැලීමට ඉඩ නොලැබුණේ ගලගෙදර පොලිසියේදී පමණකි. ආබාධිත තත්වයේ පසුවූ කුමාර්ගේ පියා පුතනුවන් දෙදෙනාගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද සිරගත වීම් සම්බන්ධයෙන්ද බොහෝ වේදනාවෙන් හා පසුතැවිල්ලෙන් ගත කළේය. තමිල් ජනයාගේ චාරිත‍්‍ර අනුව තමන්ගේ චිතකය දැල්වීමටවත් පුත‍්‍රයකු තමන්ට ඉතිරි නොවේ යැයි ඔහු බොහෝ අවස්ථාවලදී මා සමඟ දුක්ගැනවිලි කීවේය. එදා ඔහු කියූ දේ පසුකලකදී සැබෑ විය. කුමාර්ගේ පියාගේ අවසන් කාලය මට අද වගේ මතකය. රංජිදන්ගේ මරණයේ සිත්වේදනාවෙන්ම 1994 වර්ෂයේදී ඔහු මිය ගියේය. කෑගල්ල, රංවල සුසානභූමියේදී තමිල් චාරිත‍්‍රානුකූලව සිදු කළ අවසන් කටයුතුවලදී ඔහුගේ චිතකය දැල්වීමට රංජිදන් ජීවතුන් අතර නොවීය. කුමාර් ගුණරත්නම් රහසිගත දේශපාලනයේ නිරතව සිටියද මින් ඔහුට ප‍්‍රසිද්ධියේ චිතකය දැල්වීමට නොහැකි විය. තම පියාගේ චිතකය දැල්වීමට එදා කුමාර් ඉදිරිපත් වූවානම් ඔහු එදා සෙසු සගයන් රාශියක් මෙන් අතුරුදන් වීමට ඉඩ තිබුණි.
1988 මැගසින් බන්ධනාගාරය බිඳගෙන පලා ගොස් ජනතා විමුක්ති පෙරමුණේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් නායකත්ව වගකීම දැරූ ඔහු 1989 අගභාගයේ අත්අඩංගුවට පත්විය. නැවත 1991දී ඔහු එයින්ද මිදී ඒමට සමත් විය. එතැන් පටන් 2006 වසර අගභාගය දක්වාම ඔහු රහසිගත දේශපාලනයේ නිරත විය.
2006දී ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් ඔහු රටින් පිට කිරීමට තීරණය කළේ ඔහු රට තුළ රැුඳීසිටීම අවදානම් සහගත වූ නිසාය. රටින් පිටවිය යුතු බවට තීන්දුවක් ගන්නා තුරුම ඔහු ලංකාව තුළ සෑම දිස්ත‍්‍රික්කයකදීම ‘කුමාර් අයියා’ නමින් ජවිපෙ ක‍්‍රියාකාරීන් සමඟ එක්ව ක‍්‍රියාත්මක විය. 1987-89 අරගලය පරාජය වීමෙන් විසිර ගිය සාමාජිකයන් හිතවතුන් එකතු කොට 1992න් පසු පක්ෂය යළි පිහිටුවීමට ඔහු බොහෝ වෙහෙස වී කටයුතු කළ බව මම දනිමි. 1994දී ජවිපෙ යළි ප‍්‍රසිද්ධ දේශපාලන ප‍්‍රවාහයට එක්වූයේ ‘ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ’ යටතේය. ආරිය බුලේගොඩගේ මැදිහත් වීම ඇතිව ජනතා විමුක්ති පෙරමුණ ‘මල් බඳුණ’ ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් විය. ඒ සඳහා නුගේගොඩ පැවැත්වුණු ප‍්‍රථම ජනතා රැුළිය සංවිධානය කළේ කුමාර් ඇතුළු කිහිපදෙනකුගේ සංවිධායකත්වයෙනි. එහෙත් නුගේගොඩ එම රැුස්වීම් භූමියට බැසීමට පවා අවදානමක් ඔහුට තිබිණි. ඒ නිසා කුමාර් ආනන්ද සමරකෝන් රංග පීඨය ආසන්නයේ නවතා තිබුණු ත‍්‍රීවිල් රථයක පසුපස අසුණේ හිඳ රැුස්වීමේ කටයුතුවලට සම්බන්ධ විය. ඔහු ඒ වන විට සිය බිරිය චම්පා සමඟ පිළියන්දල කුඩා නිවසක පදිංචි වී සිටියේය. හදිසියේ ආරක්ෂක අංශවල අවධානය එම නිවස වෙත යොමු වූ හේතුවෙන් ඔහු එතැනින් ඉවත් විය.

මහමැතිවරණයෙන් පසු මන්ත‍්‍රී ධුරයට පත්වූ නිහාල් ගලප්පත්ති සහෝදරයාගේ මන්ත‍්‍රී නිලනිවාස තුළ ඔහුගේ පාර්ලිමේන්තු ලිපිලේඛනවල අදාළ ඉංග‍්‍රීසි භාෂාවේ පිටපත් කිරීම් සඳහා මම කටයුතු කළෙමි. මේ කාලය තුළ ජවිපෙ නායකත්වය දැරූ බොහෝ පිරිසක් සමඟ සමීපව ගනුදෙනු කිරීමට මට අවස්ථාව ලැබිණි. ජවිපෙ සමඟ සබඳතා පැවැත් වූ විදේශ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී භාෂා පරිවර්තන කටයුතු සඳහා ද මම මැදිහත් වූයෙමි. අනුර කුමාර දිසානායක මා වෙත මුලින්ම අඳුන්වා දෙන ලද්දේ මා මිත‍්‍ර කුමාර් විසිනි.
ඒ දිනවල බොහෝ ආධුනික බවක් දැක්වූ අනුර කුමාර හඳුන්වන ලද්දේ ‘අරවින්ද’ නමිනි. ඔහුගේ මුහුණුවර හොඳින් මගේ මතකයේ හිටියේ ඔහුගේ මුහුණ 89දී මරාදමනලද ‘බන්ධුල දිසානායකගේ’ මුහුණුවරට සමානකමක් දැක්වූ බැවිනි. පසු කලෙක කෘෂිකර්මාන්ත ඇමැති ධුරය භාරගන්නා ලෙස ඔහුට කුමාර් සහෝදරයා පැවසූ විට එය ප‍්‍රතික්ෂේප කිරීමට අනුර උත්සාහ කළේය. එහෙත් අනුරගේ එවකට සංවිධායක ලෙස සිටි කුමාර්ගේ බලකිරීමට ඔහු එය භාරගත් අයුරුත් මට හොඳට මතකය. එපමණක් නොව විජිත හේරත් නායකත්ව භූමිකාවේ ඉදිරියට ගෙන ඒමද කුමාර් සිදු කළ බව මම දනිමි. විජිත බූස්ස, කලපලූවාව කඳවුරුවලදී මා සමඟ සිටි බැවින් කුමාර්,ඔහු පිළිබඳව විස්තර මා වෙතින්ද ලබා ගත්තේය.
මේ කාලය තුළදී වරක් නුගේගොඩදී වෙනත් අයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් කුමාර් ජීප් රියට දාගෙන ගොස් පොලිස් කූඩුවට දමා තිබිණි. පසුව නිහාල් ගලප්පත්ති මන්ත‍්‍රීවරයා මැදිහත් වී ඔහු නිදහස් කරගත්තේය. පසුකලෙක, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය භාරගෙන පාර්ලිමේන්තු යාමට ඔහු එකඟ කරවා ගන්නට සෝමවංශ අමරසිංහ බොහෝ සේ උත්සාහ ගත්තේය. කුමාර් එය එක හෙළාම ප‍්‍රතික්ෂේප කළේය. චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ ඇමැති ධුර ගනිද්දී ඔහු වෙත පැවැති ඇතැම් නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමට එය අවස්ථාවක් කර නොගන්නේ ඇයි දැයි විමසුවෙමි. ‘පාර්ලිමේන්තුවට ගිහිල්ලා ධනපති පාලනයට සෙට්වෙලා අපිට කරන්ඩ දෙයක් නැතැ’යි ඔහු මා සමඟ කීය. ඒ වන විටත් වැඩි දෙනාගේ එකඟතාවය සන්ධාන ආණ්ඩුව තුළ සභාග දේශපාලනයට වුවද ඔහු ඊට තදින්ම විරුද්ධ වීය. එහෙත් බහුතර මතයේ තීරණයට හිස නැමීය.
එසේම මන්ත‍්‍රීකම ආභරණයක් කොටගත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රීවරුන් ඉක්මනින් හෙළිදරව් වන්නට විය. පන්ති අරගලය අමතක කොට පාර්ලිමේන්තුවාදයම බඩගෝස්තරය කොට ගත් මන්ත‍්‍රී පිරිසක් බිහිවීම ගැන කුමාර් බොහෝ කණගාටු විය. මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමත් සරත් ෆොන්සේකාගේ මැතිවරණ සටනට දායක වීමත් අප දෙදෙනාටම ජුගුප්සාජනක කටයුත්තක් විය. 89දී කන්තලේ කඳවුරේදී ඝාතනය වුණු අය පිළිබඳ මතකයන් හා වේදනාව ඔහුට තිබිණි. ක‍්‍රම ක‍්‍රමයෙන් ජවිපෙ ගමන් ගන්නා දිශාව පිළිබඳවද දැනීමක් ඔහුට විය. එහෙත් ජවිපෙන් වෙන්වී යාම සිදුවනතෙක්ම ඔහු ඒ පිළිබඳව කිසිවක් මා හට ඉඟිකළේවත් නැත.
‘ජන අරගල ව්‍යාපාරය’ ආරම්භ කිරීමට කිට්ටු කාලයේ කුමාර් ලංකාව බලා නික්මයාමට ප‍්‍රථම මා හමුවීමට නවසීලන්තයට පැමිණියේය. ඒ වන විට ඔහුගේ විශේෂ උවමනාවක්ව තිබුණේ නවසීලන්තයේ පදිංචිකරුවන් වන ‘මඕරි’ ගෝත‍්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමයි. සුළුතර ජාතියක් ලෙස ඔවුන් පත්ව ඇති තත්වයත් ලිබරල්වාදී ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරය ඔහුට දැන ගැනීමට අවශ්‍ය විය. අද පවා ඔහු ගෙල පළදන්නේ ම ඕරි ගෝත‍්‍රයට අයත් පාරම්පරික කැටයමකි.
කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අතීතය ගැන මා දන්නා මේ අල්ප කාරණාවලින් මේ සටහන ලියන්නට මට අවශ්‍ය වූයේ ඔහුගේ ප‍්‍රතිරූපයක් මවා පෑමට නොවේ. කුමාර් ගැන බොහෝ දෙනා බොහෝ දේ කතා කරනවා ඇත. මගේ අරමුණ වූයේ කුමාර් යනු ඉබේ කඩාපාත් වූ හෝ ඕපපාතිකව මේ වාම දේශපාලන ධාරාවට අවතිර්ණ වූ චරිතයක් නොවන බව පෙන්වාදීමටය. ඒ බව පෙන්වා දීම සඳහා මට සිදුවන්නේ අත්දැකීම් මා දුටු අයුරින් විස්තර කිරීමටයි. අවුරුදු 30කට නොඅඩු කැපකිරීම ඔහු කළේ මේ ගඳගසන සමාජ ක‍්‍රමය මුලින් උපුටා දමා ඒ වෙනුවට යහපත් සමාජයක් බිහිකිරීමේ උවමනාවට බව මම සිතමි. එම අරමුණ වෙත ජනතාව පෙළ ගැස්වීමේ හැකියාව ඔහුට ඇත. අද දවසේ නිවැරදි වාමාංශික පෙළගැස්මකට ඔහුගේ අත්දැකීම් හා මඟපෙන්වීම බොහෝ ප‍්‍රයෝජනවත් වනු ඇත.
බන්ධනාගාරගතකර ඇති මගේ ඒ පැරණි මිතුරා මේ ලිවීම ගැන කුමක් කියනු ඇත්දැයි මා නොදනිමි. එහෙත් මා ලියුවේ මගේ හෘදසාක්ෂිය එසේ කරන ලෙස කළ බලකිරීම නිසාය.
කුමාර් ගුණරත්නම් පිළිබඳව නිවැරදි කියැවීමක් නොමැතිව රටතොට බැලීමට වීසා රැගෙන පැමිණි විදේශිකයෙක් පරිද්දෙන් සලකා ඔහු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට මේ පාලකයන් දරණ උත්සාහය හුදෙක් ඔහුගේම ප‍්‍රශ්නයක් නොව එය ලංකාව තුළ යහපත් සමාජයක් ඇති කිරීමට අවංකවම වෙර දරන සැබෑ මානව ක‍්‍රියාකාරීන්ගේ ප‍්‍රශ්නයක් බවට තේරුම් ගෙන එය පරාජය කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොමැතිව හෙට දවසේ යහපත් සමාජයක් උදාකර ගැනීමට වෙර දැරීමම සිහිනයක් වනු ඇත.
රංජන් සේනානායක (නවසීලන්තයේ සිට)