රනිල් නම් අහම්බකාරකයා 

Ranil-Wikramasinhe

පසුගිය සතිය අනෙකුත් සති මෙන්ම විචිත්‍රවත් සතියක් විය. විචිත්‍ර යන වචනය භාවිතා කළේ දේශපාලන ක්ෂේත්‍රය තුළ කතා කළ යුතු සහ නවනළු රසය ගෙන දෙන බොහෝ දේ සිදුවූ නිසාය. ඇතැම් ඒවා භයානක රසයද, තවත් ඒවා හාස්‍ය රසයද තවත් ඇතැම් ඒවා පිළිකුල් රසයද ගෙන දෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා “ජනතා අදහස්” ලබා ගැනීම ආරම්භ වී ඇති අතර ඕනෑම සංශෝධනයක් ලබා ගැනීමට පසුබට නොඅන බවට අගමැතිවරයා සහතිකයක් දෙයි. ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනා නව ව්‍යවස්ථාවක් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ආකාරය ගැන සිහින මවන අතර 19වැනිදා කුමාර් ගුනරත්නම්ගේ දේශපාලනය කිරීමේ අයිතිය සහ පුරවැසි අයිතිය වෙනුවෙන් කළ උද්ඝෝෂණයට මර්ධන හස්තය එල්ල විය. මේ කිසිවක් නොදන්නා සේ සිටින ජනාධිපතිවරයා ලංකාවේ හරක් මැරීම නවත්වා පිටරටින් හරක් මස් ආනයනය කිරීම ගැන විහිලු සපයයි. ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවියක තරුණයෙකු පවසා තිබුණේ මෙසේය. “අපට මෛත්‍රී බයිට් කළ නොහැකිය. ඒ ඔහු තමන් විසින්ම දිනපතා බයිට් වෙමින් සිටින නිසාය.” මේ අතර නව ලිබරල් ආර්ථික සැලැස්ම ක්‍රියාවේ යෙදෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පහසුකම් සැපයීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා බව ආණ්ඩුව අධිකරණයට දැනුම් දුන්නේද ඊට එරෙහි විරෝධතා උත්සන්න වුවේද පසුගිය සතියේය. ඒ අතර මහින්දවාදීන් නව පක්ෂයක් පිහිටුවීමේ සිය සැලැස්ම ටිකෙන් ටික සමාජයට අනාවරණය කරමින් සිටී. නව ලිබරල් ආර්ථික කොල්ලයත්, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සැබෑ සහ ව්‍යාජ කතිකාවනුත්, ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘති වල කලඑළි මංගල්‍යයත් එකවර වේදිකා ගතවන “විචිත්‍ර” සතියක් පසුකර තවත් එවැනිම සතියක් කරා පිය ඔසවන මේ මොහොතම හැර මෙවර කතා කළ යුතු වෙනත් මාතෘකාවක් නැත.
සාමුහික අදහසට එරෙහිව තනි අදහස
අගමැති රනිල් කියන ආකාරයට මේ දියත් වෙමින් පවතින්නේ ව්‍යවස්ථා සම්පාදනයේ අතිශය ප්‍රජාතන්ත්‍රවාදීම ක්‍රියාවලියයි. ඔහු කියන ආකාරයට කොළඹදී පමණක් නොව ප්‍රාදේශීය මට්ටමින්ද ව්‍යවස්ථා සම්පාදක කමිටුවට අදහස් ලබා දීමේ අවස්තාව ජනතාවට විවර වී ඇත. රනිල් කියන්නේ “අපේ පරම්පරාවේ පෙත්සම් ලිවීමට පුරුදු වූ අයට” ලිපි ලෙසද “අලුත් පරම්පරාවට” ෆේස් බුක් වැනි නවීන තාක්ෂණික සන්නිවේදන ක්‍රම හරහාද අදහස් ලබා දිය හැකිය. බලු බැල්මට ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීය. රනිල් කියන දේවල් අසන විට අපට සිතෙන්නේ රනිල් නියෝජනය කරන ධනපති පන්තිය නිදහස අගයන, ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති, වාමාංශික අදහස් වලට පවා ඉඩදෙන, ඉතාම ප්‍රගතිශීලී අභිලාෂයන්ද සහිත පන්තියක් බවය. එය සැබෑවක්ද? මේ දිනවල ලියනගේ අමරකීර්තිගේ “අහම්බකාරක” නවකතාව පදනම් කර ගනිමින් මේ ආකාරයේම විවාදයක් දීප්ති කුමාර ගුණරත්න සහ එරික් ඉලයප්පාරච්චි අතර ඇති වෙමින් තිබේ. එම නවකතාවේ එන චරිතයක් ස්ත්‍රී අයිතීන්, සමාජමය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ක්‍රියාකාරී වන ධනපති මූලයන් සහිත අයෙකි. ධනපතියෙක් වුවද ඔහු විටෙක වාම අදහස් දරන්නෙකුද වෙයි. ලේඛකයා සිදු කර තිබෙන චරිත නිරූපණය යතාර්තවත් නැතිද? ධනපතියා තුළ තිබෙන පන්තිමය අභිලාෂයන් සහ ප්‍රතිවිරෝධයන් ග්‍රහණය කර ගැනීමට ලේඛකයා අසමත්වී ඇත්ද? නැතිනම් ධනපතියා මෙසේ ඕනෑම පාටක් ගත හැකි, පන්තිමය ප්‍රතිවිරෝධයන් සඟවා යම් සමාජ ප්‍රගතියක් වෙනුවෙන් පෙනී සිටිය හැකි අයෙක්ද? නවකතාව ගැන සංවාදයත් සමග රනිල්ගේ ප්‍රවේශය සම්බන්ධ කරගත් විට අපට නව ව්‍යවස්ථාවක් හරහා රනිල් කරන “ප්‍රජාතන්ත්‍රවාදී අරගලය” ගැන සංයුක්ත අදහසක් ගත හැකිය.
ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනය සඳහා මත විමසන්නේ තනි තනි පුද්ගලයන්ගෙන් මිස සංවිධානාත්මක ජනතා බලවේග වලින් නොවේ. උදාහරණයක් ලෙස වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාරය හෝ ගොවි ජනතාව හෝ ඉදිරිපත් කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ව්‍යවස්ථාමය යෝජනා රනිල් ඉල්ලන්නේ නැත. ඒවා දුන්නත් පිළිගන්නේද නැත. දේශපාලන සිරකරුවන්, අතුරුදන්වූවන්, මර්ධනය නිසා රට හැර යාමට සිදුවුවන් ආදීන් වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා වල ඉරණමද එයමය. රනිල් කියන්නේ සාමූහිකව, සංවිධානාත්මකව නොව තනි තනියෙන් ව්‍යවස්ථා යෝජනා ලබා දෙන ලෙසය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කාර්යාලයට පෝලිමේ පැමිණ ලාල් විජේනායකට හෝ වෙනත් කමිටු සාමාජිකයෙකුට රහසින් යෝජනාව කොඳුරා කියන ලෙසය. ආණ්ඩුවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ උගුල ඇත්තේද එහිමය. නව ලිබරල් දේශපාලන උපාය මාර්ගය වනුයේ සමාජයේ පන්ති දේශපාලනයෙන් ඉවත් කිරීමයි. දේශපාලනය “සමාජ මත සකසන්නන්” සහ “සිවිල් සමාජ විද්වතුන්” ලෙස හඳුන්වන පිරිසකට භාරදී වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩිතයන් ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් බෙල්ල කඩාගෙන වැඩ කිරීමයි.(එය නම් කර ඇත්තේ “තමන්ගේ වැඩක් බලාගෙන සිටීම” කියාය) එම උපායමාර්ගයේ අත්‍යවශ්‍ය කොන්දේසිය වන්නේ ජනතාවගේ සවිඥානක සහ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වය දියකර හැර තනි තනි පුද්ගලයාගේ පුද්ගලික අභිලාෂයන් පෙරට ගැනීමයි. වැඩකරන ජනතාව සහ මේ ක්‍රමය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව සාමූහිකව සහ සංවිධානාත්මකව ඉදිරිපත් කරන අභිලාෂයන් සහ සටන් පාඨ නව ලිබරල් ධනවාදයට මාරාන්තික වුවද තනි පුද්ගල නිදහස පිලිබඳ ඉල්ලීම් එයට සතුරු නැත. මෙය රනිල් ඉතා හොඳින් දනී. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේද ඒ නිර්-දේශපාලනීකරණ ව්‍යාපෘතිය වෙනුවෙනි.
මෙවැනි ව්‍යාපෘතියක් ගැන සංවේදී නොවන්නෙකුට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමාජ ප්‍රගතිය වෙනුවෙන් යැයි සිතීමටද ඉඩ ඇත. විශේෂයෙන් නිර්ධන පන්තිය සිය පන්ති අභිලාෂයන් පිලිබඳ නොදැනුවත්ව ධනවාදී දෘෂ්ටිමය ගොහොරුවේම ගිලී සිටින තත්වයක් තුළ රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදියෙක් පමණක් නොව වාමාන්ශිකයෙක්ද විය හැක. නිදසුනක් ලෙස වැඩකරන පන්තියේ සාමූහික සිතීම ජාතිවාදී වන විටෙක රනිල්ට ජාතික ප්‍රතිසංධානය වෙනුවෙන් පෙනී සිටින ප්‍රගතිශීලියෙකු ලෙස වෙස් වලා ගත හැක. එය හෙළිදරව් වීමටනම් වැඩකරන පන්තිය තමන් ජාතික-භාෂා-ආගමික-සංස්කෘතික ලෙස බෙදා, වෙන්කර, දුර්වල කර, සූරාකෑම සදාකාලික කිරීමේ පාලක පන්ති උපායමාර්ගයට එරෙහිව සමගිව නැගී සිටිය යුතුය. රනිල්ගේ ජාතිවාදය නිරුවත් වන්නේ එහිදීය.”අහම්බකාරක” නව කතාව ගැන විවාදය වැදගත් වන්නේ මෙහිදීය. ධනපතියා තුළ පන්තිමය අභිලාෂයන් සහ ප්‍රතිවිරෝධයන් ඉබේ ප්‍රදර්ශනය වීම පටන් ගන්නේ නැත. ධනපති පන්තියේ පරස්පරය මතු වෙන්නේ නිර්ධන පන්තියේ සංවිධානය සහ සාමූහික අයිතිය සඳහා සටන් කරන විටය. ධනපතියාගේ පන්ති ස්වභාවය හොඳින් අනාවරණය වන්නේ පන්ති සටන උත්සන්න වන විටය. නිර්ධන පන්තිය සංවිධානය නොවන්නේනම්, සිය අභිලාෂයන් නිවැරදිව අර්ථදක්වා නොගන්නේනම්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී නොසිටින්නේනම් රනිල්ට හෝ වෙනත් ඕනෑම ධනපති නියෝජිතයෙකුට ප්‍රජාතන්ත්‍රවාදියෙකු හෝ ප්‍රගතිශීලියෙකු ලෙස පෙනී සිටිය හැකිය. වැඩකරන ජනතාව කළ යුත්තේ රනිල්ගේ සෝබන කතා වලින් ඇස් ගිනිකණ වට්ටවා ගැනීම වෙනුවට රනිල්ගේ ව්‍යාපෘතිය නිරුවත් වන දේශපාලන භාවිතාවකට එළඹීමයි.
අලුත් එඬේරා සහ පරණ එඬේරු
ව්‍යවස්ථාව පිලිබඳ ප්‍රශ්නයට නිර්ධන පන්තිය ප්‍රවේශ විය යුත්තේ කෙසේද? ධනේශ්වර පාලන ක්‍රමයක් තුළ හැමවිටම පාහේ ව්‍යවස්ථාව යනු පාලක පන්තියේ ආධිපත්‍යය සහ පාලක කණ්ඩායම් අතර තිබෙන ප්‍රතිවිරෝධතා වල ප්‍රකාශනයකි.එමෙන්ම එය පන්ති සටනේ බල තුලනය පිලිබඳ ප්‍රකාශනයකි. ව්‍යවස්ථාව පිලිබඳ ප්‍රධාන පන්ති දෙකට ඇත්තේ ප්‍රවේශ දෙකකි. මේ මොහොතේ පාලක පන්තිය උත්සාහ කරන්නේ රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ රජය හුදු ගෝලීය ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් වැඩකරන, එයට ආරක්ෂාව සපයන උපකරණයක් බවට පත් කිරීමය. විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති හරහා රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය අධි තාක්ෂණික කිරීමේ සැලසුම් තහනම් කෙරෙන මූලික අයිතීන් නීති ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට අප යෝජනා කළහොත් රනිල් එම යෝජනාව පිළිගන්නේද? සංවිධිත ජනතාවගෙන් යෝජනා නොඉල්ලා, තනි තනි පුද්ගලයන්ට රහසින් යෝජනා ඉදිරිපත් කිරීමේ “ප්‍රජාතන්ත්‍රවාදය” දෙන්නේ එවිට එවැනි යෝජනා ඉදිරිපත් නොවන බව රනිල් දන්නා නිසාය. ධනපති පන්තියේ ව්‍යවස්ථා සැලැස්ම එය වනවිට ව්‍යවස්ථාව පිලිබඳ නිර්ධන පන්තියේ ප්‍රවේශය වන්නේ රාජ්‍ය මර්ධන යාන්ත්‍රණයේ දත් සහ නිය කැපීමත්, සමාජ සුබසාධනය සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම සඳහා වන විභවයන් ආරක්ෂා කිරීම සහ පුළුල් කිරීමත්ය. නිර්ධන පන්තිය පෙනී සිටින්නේ රජය අහෝසි කිරීම වෙනුවෙන් නිසා එය අපට අදාළ නැතැයි නිහඬව සිටීම වෙනුවට ව්‍යවස්ථා සම්පාදනයේදී නිර්ධන පන්තිය සිය පන්ති අභිලාෂයන් වෙනුවෙන් සටන් වැදිය යුතුය.
ඒ අතර ග්‍රාමීය, සුළු ධනේශ්වරයේ ප්‍රකාශකයන් වන සිංහල බෞද්ධ ග්‍රාමීය බලවේග ආකර්ෂණය කිරීමට තරඟ කරන මෛත්‍රී සහ මහින්ද මේ ගැන ගන්නා ප්‍රවේශය කුමක්ද?
මහින්ද සහ ඔහුගේ අන්තේවාසිකයන් සිටින්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් රාජ්‍ය බලය තවතවත් ශක්තිමත් කළ යුතුය යන අදහසේය. මේ ආණ්ඩුව ගෙන යන නව ලිබරල් ව්‍යාපෘතිය තුළ අතෘප්තියට පත්වන හා විරෝධය පාන බලවේග වලට කොන්සවේටිව් වර්ගයේ වෙස් මුහුණක් පැලඳවීම මහින්දගේ උපාය මාර්ගයයි. ඒ සඳහා ජාතිවාදයද, ආගම්වාදයද, සමාජ පසුගාමීත්වයද හැකි උපරිමයෙන් භාවිතා කළ යුතුය. මහින්දට තමන් ඉලක්ක කරන බලවේග ආකර්ෂණය කරගත හැක්කේද ඒ හරහාය. මහින්දගේ නව දේශපාලන පක්ෂය ගෝඨාභයවත් පෙරටු කරගෙන සැරසෙන්නේ ඒ ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපෘතියටය. මේ අතර මෛත්‍රීගේ ඉලක්කය බවට පත්වී තිබෙන්නේද ඒ බලවෙගයමය. මේ බලවේග හරකුන් මෙන් දැක්කිය හැකි බවත්, ඔවුන්ට ඒත්තු ගැන්විය යුත්තේ පැරණි එඬේරාට වඩා අලුත් එඬේරා වැඩිපුර පිදුරු දෙන බව, නාවන බව, ඇඟේ කිනිතුල්ලන් ඉවත් කරන බව පමණක් බවත්, එවිට ඔවුන් අලුත් එඬේරාට අවනතව ඔහු පිළිගන්නා බවත් මෛත්‍රී විශ්වාස කරයි. එන්රික්ගේ සංගීත ප්‍රසංගයේදී තරුණියන්ගේ යට ඇඳුම් ගැලවීම ගැන මඩු වලිග ප්‍රහාර කතා කීමේ සිට පසුගිය සතියේ හරක් මස් ආනයන යෝජනාව දක්වා සියලු ක්‍රියාකාරීත්වයන් පෙළගැසී තිබෙන්නේ ඒ දිශාවටය. ලංකාවේ හරක් මැරීම තහනම් කර පිටරටවල හරකුන් මැරීම සඳහා යොමුවීමේ යෝජනාව වලංගු වන්නේ අවිද්‍යාවේ පතුලටම වැටී ඇති පසුගාමී බලවේග වලටය. මෛත්‍රීගේ ඉලක්කය මහින්දටත් වඩා අගතිය වැළඳගෙන හෝ එම බලවේග වලට තමන් අලුත් එඬේරා බව ඒත්තු ගැන්වීමයි. රනිල්ගේ නව ලිබරල් ආර්ථික පිම්මට අදාළ ව්‍යාපෘතිය සාර්ථක වීමටනම් මෛත්‍රී වැනි ජනාධිපති මුහුණක් ඔහුට අවශ්‍යව තිබේ. නව ලිබරල් ධනවාදය ක්‍රියාත්මක වන්නේ නව කොන්සවේටිව්වාදයක් සමග අතිනත් ගෙන බව අප කාලයක සිට කිව්වේ ඒ නිසාය. නව ලිබරල් උපායමාර්ගය හරහා ලංකාව නූතනත්වයට කැඳවීමට බලාපොරොත්තු තැබූ ජනවාරි 8 ලිබරල් බලවේග වල බලාපොරොත්තු පුස්සක් වී තිබේ. ඒ නිසා දැන් ඔවුන් කළ යුත්තේ නව ලිබරල් හා නව කොන්සවේටිව් ලක්ෂණ අතර ඇති සංකීර්ණ අන්තර් සම්බන්ධය වටහා ගැනීම මිස නව ලිබරල් ධනවාදය මෙලෙසම පවතිද්දී ව්‍යවස්ථාව හරහා ප්රාතන්ත්රවාදය ස්ථාපිත කළ හැකි බවට මිත්‍යාවක ගිලීම නොවේ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ කරන සෙල්ලම ගැනද වචනයක් දෙකක් කිව යුතුය. ව්‍යවස්ථාව ධනපති එකක් නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක් නැතැයි කියමින් ජවිපෙ හිටි ගමන් “වාමාංශික වීම’ ආරම්භ කර ඇත. ධනපති ආණ්ඩු ඉවත් කරමින්, තවත් ධනපති ආණ්ඩුවකට පාවාඩ එලමින්, පාර්ලිමේන්තු රීති සහ ස්ථාවර නියෝග ගැන විශේෂඥයන් හා පොතේ ගුරුන් ලෙස පෙනී සිටීමට සකල වැර යොදමින්, පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම ලබා ගැනීමට ප්‍රතිපත්ති පවා අතහැර ඩීල් ගසමින්, ධනපති ක්‍රමය පවතිද්දීම වංචා දුෂණ තුරන් කිරීමට කෝප් කමිටුවේ සභාපතිකම ඉල්ලා නහයෙන් අඬමින් සිටි ජවිපෙට හිටි ගමන් වම සහ නිර්ධන පන්තිය මතක් වන්නේ සැබෑ දේශපාලන ප්‍රශ්නය මග හැරීමටය. ව්‍යවස්ථාව හරහා රාජ්‍ය බලය ශක්තිමත් කිරීමට හෝ රජය ප්‍රාග්ධනයේ ආරක්ෂකයාව සමාජ ආරක්ෂණ වල වගකීමෙන් ඉවත්වීමට විරුද්ධ නොවී සිටීමට, ජාතික ප්‍රශ්නය ගැන කෙලින් නොකියා මහින්ද සහ මෛත්‍රී තරඟ කරන බලවේගය සමගම සමපෙක්ෂණයේ යෙදීමට හොඳම ක්‍රමය ව්‍යාජ වාම වාග්පාඨ ඇද බෑමයි. මේ මගහැරීමේ දේශපාලනයද වැඩකරන ජනතාව දේශපාලනයෙන් ඉවත් කර තැබීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය සමග සම්බන්ධය.
මේ සියලු මරඋගුල් පරාජය කිරීමටනම් කළ යුත්තේ අප පසුගිය සතියේ මේ තීරුවෙන් අවධාරණය කළ පරිදි නිර්ධනයා, පීඩිතයා සංවිධානය වීමයි. තමන්ගේ සැබෑ දේශපාලන අභිලාෂයන් ගැන සංවේදී වීමයි. එය, ලංකාවේ රාජ්‍ය බලය ශක්තිමත් කර ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් සමස්ත සමාජ උවමනාවන් පාවා දීමේ පාලක පන්තියේ උපායමාර්ගය පරාජය කිරීමට පමණක් නොව මිනිස් සංහතිය ලෙස අප මුහුණපා සිටින ගැටළු විසඳීමටත් අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි. සංවිධානය වෙන්න, සටන් කරන්න, අන් මාවතක් නැත.

-ජනරළ –