ගැටළු විසදන්න බැරි පරිපාලනය විවෘතය වසා දමයි

12540562_1688283774723075_9013391912137823550_n

ශිෂ්‍යයින් විසින් සිය අධ්‍යයන හා සුබසාධන ගැටළු වහා විසදන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු ලෙස නාවල විවෘත විශ්වවිද්‍යල බලධාරීන් පසුගියදා විශ්වවිද්‍යාලය වසා දැමීමට විරෝධය පළ කරමින් අද (25) විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිසුහු දැවැන්ත විරෝධතාවයක් දක්වා ඇත. මෙහිදී අදහස් දක්වමින් සිසුන් පැවසුවේ අතිසාරයට අමුඩ ගසන මේ පාලකයින් ශිෂ්‍යයින්ගේ පොදු ඉල්ලීම් විසදනු වෙනුවට මර්දනය දිගින් දිගටම දියත් කරන බවයි.

මේ සම්බන්ධ අප කළ විමසීමකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ පසුගියදා ලේඛකාධිකාරී විසින් සිසුන්ට කළ තර්ජනයක් සම්බන්ධයෙන් සිසුන් විරෝධය දැක්වීම මෙම විශ්වවිද්‍යාලය වසා දැමීමට මුලික හේතුව වූ බවයි.

පාලනාධිකාරය විසින් අලුතින් ස්තාපිත කරන ලද ආපනශාලාව නියමිත පටිපාටියන් බැහැරව ටෙන්ඩර් කැදවීමකින් තොරව සිය හිතවතුන්ට ලබා දී ඇතිබවත්, ආපනශාලාවේ තත්වය ඉතා අයහපත් බවත්, මේ සම්බන්ධයෙන් විමසීමට සිසුන් ලේඛකාධිකාරීවරයා හමුවූ අවස්ථාවේදී ලේඛකාධිකාරීවරයා විසින් අදාල ක්‍රියාව ගැන විමසීමට සිසුන්ට අයිතියක් නොමැති බව පවසමින් සිසුන්ට තර්ජනය කර ඇත. අදාල තර්ජනය කිරීමට විරෝධය දක්වමින් සිසුන් පාලනාධිකාරයට විරුද්ධව උද්ඝෝෂනයක් කර ඇත.

කෙසේ  වෙතත් පසුව විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා පැමිණ සිසුන් නේවාසිකව සිටි කාමරයක හා සිසුන්ගේ පොදු කාමරයේ ඇති බඩු ඉවත් කර ගන්නා ලෙස දන්වා ඇති අතර, එයට සිසුන් විරෝධය දැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලව වසා දමා ඇත. විශ්වවිද්‍යාල වසා දැමීමේදී සාමාන්‍ය පිළිවෙත වන්නේ පසුදින අදැසන වන තුරු සිසුන්ට නේවාසිකාගාර භාවිත කිරීමට අවසර ලබාදීම වුවත් විවෘත විහ්වවිද්‍යල පාලනාධිකාරීවරුන් රාත්‍රියේම සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් කර ඇත. මේ හේතුවෙන් ඉතා දුරබැහැර සිටින සිසුන් දැඩි අපහසුතාවයට මෙන්ම දැඩි අනාරක්ෂිතභාවයට ද පත්ව ඇත.

වැඩිදුරටත් අප සමග අදහස් දැක්වූ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ මේ වන විටත් විවෘත විහ්වවිද්‍යාලයේ ශිධ්‍ය සංගම් ස්ථාපිත කර බලාත්මක කර නොමැති බවත්, සිසුන්ගේ අධ්‍යයන හා සුබසාධක ගැටළු වැඩි වෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් සිසුන් ඉල්ලීම් කළ විට අදාල ගැටළු විසදනවා වෙනුවට විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරය අත්තනෝමතිකය කටයුතු කර ඇති බවයි.