පසුගිය 19 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයටත් පොලීසිය අධි බලැති ජල ප්‍රහාර එල්ල කළා. “ත්” කියලා යෙදුවේ පොලීසිය අධි වේගී ජල ප්‍රහාර යොදා පහර දුන්නේ එම උද්ඝෝෂණයට පමණක් නොවන නිසා. සාමාන්‍යයෙන් ජනතා උද්ඝෝෂණ වල යෙදෙන්නන්ට ජල ප්‍රහාර පමණක් නොව බැටන් ප්‍රහාර, අත්අඩංගුවට ගැනීම් ආදියේ රස විඳීමට සිදුවුනා. නමුත් කුමාර් ගුනරත්නම්ගේ ප්‍රශ්නයට අදාළ උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කිරීම විශාල ආන්දෝලනයකට ලක්වුනා. පසුවදා එයට එරෙහිව පැවැත්වුණු මාධ්‍ය හමුවට මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ක්‍රියාකාරීව මැදිහත්වූ සංවිධාන සහ පුද්ගලයිනුත් සහභාගී වී තිබුනා. ඇතැම් අය ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන සටන් පාඨයක් කරගෙන බලයට පැමිණි ආණ්ඩුව මෙහෙම කළේ ඇයි කියලා සමහරු වික්ෂිප්ත වෙලා. තවත් අය මේ ආණ්ඩුව උද්ඝෝෂණ වලට පහරදීම අදහා ගන්න බැරිව ආණ්ඩුව සහ පෙරටුගාමීන් අතර එකඟතාවයක් මත මේක වුනාද කියලා නිර්මානාත්මක පරිකල්පනයක යෙදෙනවා. (මේ ආණ්ඩුව පළමු පහර එල්ල කළේ 19වැනිදා නෙවෙයි, කලින් පහර කාපු කම්කරුවෝ, ගොවියෝ, ශිෂ්‍යයෝ, බඳගිරියේ සහ මීතොටමුල්ලේ මිනිස්සු ගුටි කෑවෙත් සම්මුතියකින් නෙවෙයි) තවත් සමහරු පොලීසිය බැටන් පොලු පාවිච්චි කළේ නෑ, කඳුළු ගෑස් ගැහුවේ නෑ, වතුර විතරයි ගැහුවේ කියලා ප්‍රහාරයේ තීව්‍රතාව අඩු කරන අහිංසක උත්සාහයක නිරත වෙනවා. (අහිංසක කියන වචනෙට හිතින් උදෘත කොමා දා ගන්න) ඇත්තටම මොකද මේ වුනේ? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පත් කළ ආණ්ඩුව මෙහෙම ගහන්නේ ඇයි?
අපි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න උත්සාහ කරමු. නමුත් මේ උත්තරය ජනවාරි 8වැනිදා ව්‍යාපෘතියට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්තම උද්යෝගයකින්, ඇත්තම අනුරාගයකින් මැදිහත් වෙලා දැන් අතෘප්තියට පත් වෙලා ඉන්න, මේ ආණ්ඩුව වරදක් කළත් ඒක හෙලා දකින්න තරම් විවෘත කමක් තියෙන අය සඳහා පමණයි. කොහොම හරි උප්පරවැට්ටියක් දාලා, මොනවා හරි කෙස් පැලෙන තර්කයක් දාලා ආණ්ඩුවේ කුණු හෝදන්න බලන අයට නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන අභිලාශයක්, ඒ සඳහා කැපවීමක් පාලක පන්තියට නෑ. ඒ අයට අපට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නත් බෑ. පාලක පන්තියේ ආර්ථික උපාය මාර්ගය මහජන පීඩාකාරී ආර්ථික ක්‍රම වේදයක් නිසා එයට එරෙහි ජනතා නැගිටීම් වලට ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරාගෙන මර්ධනයෙන් පමණයි. උදාහරණයක් විදියට නව ලිබරල් ආර්ථික උපායමාර්ගය යටතේ සමාජ ආරක්ෂණ සේවාවන් වල වගකීමෙන් රජය ඉවත් වෙලා ඒ බර ජනතාව මත පටවන විට, සමාජ සුබසාධන කප්පාදු කරන විට ජනතාව එයට එරෙහි වෙනවා. එහෙම වෙලාවක එක්කෝ පාලකයන් තමන්ගේ ප්‍රතිපත්තිය අත හරින්න ඕන. එහෙම නැත්නම් විරුද්ධ වන පිරිස් මර්ධනය කරලා තමන්ගේ ගමන ඉදිරියට යන්න ඕන. පාලකයන් කරන්නේ දෙවැනි එක. ඒ නිසා ධනේශ්වර පාලකයන්ගෙන්, විශේෂයෙන් මේ නව ලිබරල් උපායමාර්ගය තුළ සහ සුවිශේෂයෙන් ලංකාව වගේ පසුගාමී රටක ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා කුමාර් ගුනරත්නම්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන අරගලයට පමණක් නෙවෙයි, ඕනෑම ආර්ථික හෝ දේශපාලන අරගයකට ජල ප්‍රහාර සහ තවත් ප්‍රහාර එල්ල වීම වලක්වන්න බෑ. මේ ආණ්ඩුවත් ජනතා උද්ඝෝෂණ වලට ගහන්නේ නෑ කියලා ප්‍රතිපත්තියකට ඇවිත් නෑ. ගහන්නේ නැත්තේ ගහන්න බැරි නිසා. සමාජයෙන් ගහනවාට එරෙහිව එන තියුණු ප්‍රතිවිරෝධය නිසා. ඒ ප්‍රතිවිරෝධතා මෝරන්න දුන්නොත් තමන්ගේ බලයත් අභියෝගයට ලක්වන බව ඔවුන් දන්නා නිසා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට අතපය කැඩෙන්න, ඔලු පැලෙන්න ගහන්න, කාලෙකට දේශපාලනය කරන්න බැරි වෙන්න ගහන්න, ඉදිරි පෙළ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ජීවිතයෙන්ම ඉවත් කරන්න මේ ආණ්ඩුව හෝ පොලීසිය වැනි රාජ්‍ය මර්ධන උපකරණ වලට කිසිදු පැකිලීමක් නෑ. පුළුවන් නම් ඔවුන් එහෙම කරනවා. එහෙම නොකරන්නේ, “ටිකක් ගහන්නේ”, “කඳුළු ගෑස් නැතිව වතුර විතරක් ගහන්නේ”, “ගහලා ඒ ගැන විමර්ශන තියන්නේ” සමාජමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පවතින ක්‍රියාකාරීත්වය නිසා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයේදී අවම වශයෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පවා මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. වැඩකරන පන්තියේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නෙවෙයි, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා දිනා ගන්න වෙන්නේ වැඩකරන පන්තිය ඇතුළු පීඩාවට සහ අසාධාරණයට පත් ජනතාව සංවිධානය වී සටන් කිරීමෙන්. පෙරටුගාමීන්ගේ ඔලු පැලෙන්නේ නැතිව වතුර විතරක් වදින්නේ දැනට ඉතාම දුර්වල මට්ටමින් හෝ පවතින සමාජ සක්‍රියත්වය නිසා. නමුත් අයිතීන් දිනා ගන්න වෙන්නේ වඩාත් සංවිධානාත්මකව සක්‍රිය වීමෙන්. වැඩකරන ජනතාව තමන්ගේම වූ ස්වාධීන දේශපාලන බලයක් ගොඩ නැගීමෙන්. නැතිනම් ඉදිරියටත් නාන්න වෙයි. අලුත් අවුරුදු චාරිත්‍ර වල වගේ හිස තෙල් ගාලා ස්නානය කරනවා වෙනුවට ස්නානය කරලා රිදෙන,ඉදිමුණු තැන වල හිස තෙල් ගාන්න වෙයි. ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයා කියලා අපේ පැරැන්නෝ කියලා තියෙනවා කියන එක පමණක් මේ මොහොතේදී සමාජයේ පහල පන්තීන්ට මතක් කරනවා. මෝඩයෝ නොවී ඉමු’
– මනෝජ් ප්‍රසන්න –