භික්ෂු විනය පනත හොඳද නරකද?

buddhist,monks,srilanka-X2

2015 දෙසැම්බර් 14වැනිදා දිනය සහිතව අධිකරණ හා බුද්ධ සාසන ඇමති විජේදාස රාජපක්ෂ ‘ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත‘ නමින් පනතක් ඉදිරිපත් කළා. මේ පනත් කෙටුම්පත පදනම් කරගෙන විශාල විවාදයක් ඇති වී තිබෙනවා. ඒ ගැන භික්ෂු සමාජයත් දෙකට බෙදිලා. එක පිරිසක් කියන්නේ භික්ෂුන්ට විනය නීති පැනවීමට පාර්ලිමේන්තුවේ ඉන්න ගිහියන්ට අයිතියක් නෑ, ඒ නිසා මේ පනත බෞද්ධ භික්ෂුන්ව මර්ධනය කරන්න ගෙනා නීතියක් කියලා. පසුගිය කාලයේ ජාතිවාදී ආගම්වාදී ව්‍යාපෘතියේ සිටි භික්ෂු සංවිධාන මේ මතයේ ප්‍රධාන වාහකයන් වී සිටිනවා. අනෙක් පිරිස කියන්නේ මේ පනත මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය සහ ඉල්ලීම අනුව සකස් වූ එකක් බව. දැනටමත් භික්ෂු සමාජයේ බරපතල විනය කඩවීම් තිබෙන නිසා ඒවාට දඬුවම් කිරීමේ නීති අවශ්‍ය බව සහ නීති ක්‍රියාවේ යෙදවීමට රාජ්‍ය බලය අවශ්‍ය බව ඒ අය කියනවා. මේ අදහස වැඩිපුර ඉදිරිපත් කරන්නේ යහපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටි භික්ෂු සංවිධාන. ජනවාරි 14වැනිදා මාධ්‍ය හමුවේ අධිකරණ ඇමති කීවෙත් රජය මේ සඳහා නීති පනවන්නේ නැති බව සහ රජය මැදිහත් වන්නේ මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත පමණක් බව. පරීක්ෂණ පවත්වන්නේ, වරදකරුද නිවරදිකරුද යන්න තීරණය කරන්නෙත් දඬුවම තීරණය කරන්නෙත් භික්ෂු විනය ආයතන. රජය කරන්නේ ඒ දඬුවම් ක්‍රියාත්මක කිරීමට සහය දීම. ආණ්ඩුව පැත්තෙන් කියන කතාව මේක. ඇත්තටම මේ පනතින් මොකද වෙන්නේ? ඒ ගැන ඉතාම කෙටි විමසුමක් කරන්නයි අපේ උත්සාහය.

දැනට ඉපැරණි බෞද්ධ සම්ප්‍රදායේ විනය පිටකයට අනුව භික්ෂූ විනය පිළිබඳව සෑම නිකායකම, සෑම පාර්ශ්වයකම කතිකාවත් තිබෙනවා. මේ පනත් කෙටුම්පතේ අරමුණ තමයි, ඒ කතිකාවත් වලටත් ඒවායේ කොන්දේසි උල්ලංඝනය කරන, විනය උල්ලංඝනය කරන භික්ෂූන්වහන්සේ සම්බන්ධව කාරක සංඝ සභාවලින් සහ මහා නායක හිමිවරුන් ගනු ලබන තීන්දු වලට වලංගුභාවයක් ලබාදීම සඳහා කතිකාවත්වලට නීතිමය බලයක් ලබාදීම. ඒ අනුව සංඝ කාරක සභා විසින් දෙන දඬුවම් පිළිනොගන්නා භික්ෂුන් අධිකරණය ඉදිරියට ගෙනවිත් රටේ නීතියෙන් දඬුවම් කරනවා. එසේ කාරක සංඝ සභාවේ තීරණයට එකඟ නොවී ක්‍රියා නොකරන භික්ෂුවක් මේ පනත යටතේ වරද කරුවෙකු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ අසන නඩු විභාගයකින් රුපියල් 50,000 කට නොඅඩු දඩයකට හෝ මාස 6 කට නොඅඩු සිර දඬුවමකට යටත් වෙනවා. චෝදනා ලැබූ හෝ වරදකරුවෙකු වන භික්ෂුවක් වෙනත් නිකායකට හෝ පාර්ශවයකට ඇතුලු වීමත් එවන් අයෙක් වෙනත් නිකායක් විසින් භාර ගැනීමත් මෙම පනත මගින් වළක්වා තිබීම විශේෂයක්. ඒ අනුව මේ පනත සියලුම බෞද්ධ භික්ෂූන් බෞද්ධ ශාසන ධුරාවලියට අනුගත කරන අතර එයට සෑම කෙනෙක්ම යටත් කරනවා. ඒ නිසා නිල ධුරාවලියේ බලය රාජ්‍ය බලය යොදා ශක්තිමත් කර තිබෙනවා. දැනටමත් නම් කර තිබෙන දඬුවම් 7ට අනුව ශාසන ධුරාවලියට අනුගත නොවන සියලු භික්ෂුන් ශාසනයෙන් නෙරපිය හැකියි. ඒ දඬුවම් පනතට අනුව මේවා.

* වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම
* වැඩ සිටින විහාරස්ථානයෙන් ස්ථිරව ඉවත් කිරීම
* විහාරාධිපති ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීම
* විහාරාධිපති ධූරයෙන් ස්ථිරව ඉවත් කිරීම
* ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම
* අදාල නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම
* භික්ෂු ලියාපදිංචිය ඉවත් කිරීම

මෙසේ ධුරාවලියට අනුගත නොවන ක්ෂේත්‍ර අතර “ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂුවකට අකැප අයුරින් හැසිරීම” ඇතුළු කර තිබෙනවා. මෙය පැහැදිලිවම භික්ෂු උද්ඝෝෂණ ආදිය වැලැක්වීම සඳහා නිල ශාසන ධුරාවලියට අවස්තාව සලසා දෙන්නක්. මේ අකැප හැසිරීම අර්ථ දක්වා නෑ. එය අර්ථ දැක්වීමේ බලය තිබෙන්නේ මහා නායක හිමිවරුන්ට. අක්කර දහස් ගණන් ඉඩම් සහ දේපල පරිහරණය කිරීමත්, ඒ හරහා ග්‍රාමීය දිළින්දන් සූරාකෑමත් භික්ෂුවකට කැප හැසිරීමක් ලෙස දකින මේ නිල ධුරාවලිය අරගල කිරීම, උද්ඝෝෂණය කිරීම අකැප හැසිරීම් ලෙස අර්ථ දක්වාවි. බළලා මල්ලෙන් එලියට පනින්නේ මේ විනය කරුණු දකින විට. කතිකාවතට ඇතුළු කළ යුතු විනය කරුණු ලෙස පනතේ මෙසේ සඳහන්.

* ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතු වල නියැලීම හෝ කරගෙන යෑම සහ එම කටයුතු වලට ප්‍රචාරය ලබා දීම
* වෙළඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම
* රියැදුරු බලපත්‍ර ලබා ගැනීම හෝ වාහන පැදවීම
* අධ්‍යාපන, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික රැකියාවන්හි නියුක්ත වීම
* ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනිව ක්‍රියා කිරීම

බෞද්ධ භික්ෂුන්ගේ විනය පිරිහී ඇත්නම් එය පිරිසිදු කර ගැනීමට බෞද්ධයන්ට සහ ශාසනික ව්‍යුහයන්ට හැකියාවක් තිබිය යුතුයි. එයට රජය මැදිහත් කර ගැනීම අවශ්‍ය වන්නේ ඇයි? අනෙක් අතට මෙයට විරුද්ධ වන අයගෙනුත් අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. මේ හැමදෙනාම පාහේ ව්‍යවස්ථාවේ රජය බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දියයුතු බවට වන වගන්තිය තිබිය යුතු බව කියනවා. ඒ අතර රජය ඒ බලය භාවිතා කරන විට එයට විරුද්ධ වෙනවා. මේක පරස්පරයි. රජය කිසිදු ආගමකට ප්‍රමුඛතාව ලබා නොදිය යුතු බවත්, රජය ලෞකිකකරණය වියයුතු බවත්, ආගම පුරවැසියාගේ පෞද්ගලික කටයුත්තක් බවත් වාමාංශිකයන් කියන්නේ ඒකයි. මේ කරන්නේ ඉතිහාසයේ හැමදාම වගේ රජය ආගමික සංස්තාවන්ට මැදිහත් වෙලා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ හැඩයට ඒක කපා ගැනීම සහ ආගම රාජ්‍ය බලය භාවිතා කර නිල ධුරාවලිය ආගමික සමාජය මත බලහත්කාරයෙන් පටවා සියලු විකල්ප ක්‍රියාකාරීත්වයන් සමතලා කිරීම. ආණ්ඩුව මහා නායක හිමිවරුන් ප්‍රමුඛ ධුරාවලියට බලය දෙන්නේ, රාජ්‍ය බලයත් භාවිතා කර එය ශක්තිමත් කරන්නේ එම ධුරාවලිය තමන්ට අවනත බව දන්නා නිසා. උත්සාහය තියෙන්නේ ඒ අවනත නිල නායකත්වය භාවිතා කරලා අවනත නොවන විකල්ප ක්‍රියාකාරීත්වයන් මර්ධනය කරන්න. ඒ නිසා මේක ප්‍රතිගාමී නීතියක් ඒත් ඒ ජාතිවාදීන් කියන අර්ථයෙන් නෙවෙයි. මේ නීති භාවිතා කරලා රජය නව ලිබරල් ධනවාදයට ගැලපෙන බුද්ධාගමක් හදන ආකාරය වෙනම කතා කළ යුතුයි.

-ජනරළ –