ඉඟුරු වෙනුවට මිරිස් – ත්‍රස්ත මර්දන පනත පනත් තුනක් වෙයි

2016.04.23-repressive acts

සම්මත කළ දින සිටම බරපතල විවේචනයට භාජනය වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව මර්දන පනත් තුනක් සකස් කිරීමට ආණ්ඩුව සුදානම් වන බව හෙළිදරව් වේ.

මේ බව අනාවරණය වී තිබෙන්නේ නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකිනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මේ ආණ්ඩුවේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ අතර පනත වෙනස් කර නව පනත් හරහා මර්දන නීති පවත්වාගෙන යාම ආණ්ඩුවේ උත්සාහය වී තිබේ.

සාගල රත්නායක ඇමතිවරයා අප්‍රේල් 18වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්ත මර්දන විධායක කමිටු කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ ජෝන් පෝල් ලැබෝඩ් හමුවී නව පනත් තුනක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. එම විධායක කමිටු කාර්යාල නියෝජිතයන් මීට පෙර ලංකාවේ සංචාරයකද නිරත විය. වෙනුවට සකස් කෙරෙන ත්‍රස්ත මර්දන නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නිල සාකච්ඡා ආරම්භ කර තිබේ. ජාතික ආරක්ෂාව සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ද අදාළ නව නීති කෙටුම්පත්වලින් ආවරණය කෙරෙනු ඇතැයි පවසා ඇති නිසා මේ නව නීති කම්කරු අරගල මර්දනයට පවා යොදා ගැනෙනු ඇති බවට සැක පහල වී ඇත. දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව නීති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතීන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බව එම නිවේදනයේ දැක්වේ.

 

Leave a Reply