අත් නොහැර සටන් වැදීමේ දේශපාලනයක් ගොඩනැගීමට වාමාංශික අපි හැමෝටම බලකිරීමක් තියෙනවා.
Posted on 04.08.2016 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
1971 අප්‍රේල් අරගලය සමරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘ශ්‍රේෂ්ඨ පරාජයක්-නොමියෙන අරමුණක්‘ යන තේමාවෙන් ගම්පහ සණස ශාලාවේදී පැවැත්වූ සමරු වැඩසටහනේදී එම පක්ෂයේ ප්‍රදාන ලේකම් සේනාධීර ගුණතිලක විසින් කළ කතාවේ සාරාංශයක් පහත පළ වේ.
‘අද අප එකතුවෙලා ඉන්නෙ 1971 අප්‍රේල් නැගිටීමෙ 45 වැනි වර්ෂය සමරන්න. මේ වනවිට අප වැනිම වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධාන මේ අරගලය සමරනවා. තව අවුරුදු පහකින් අපට ඒ අරගලයෙ අඩ සියවස සමරන්න පුලුවන්. නමුත් අප වැඩි වශයෙන් කල්පනා කළ යුතු ඒ අරගලයේ යෙදුණු විප්ලවවාදී සටන්කාමීන් අප වෙත ඉතිරි කර තබා ගිය ආදර්ශයන් ගැනයි. මොකක්ද ඒ ආදර්ශය? අද මෙතනත් අප සමග එක්ව ඉන්නවා 1971 අරගලයට සම්බන්ධ වූ සහෝදරියන් සහෝදරවරුන්. 71 ඇතුලෙ තියෙනවා මුලපිරීම. ඉතාම ටික දෙනෙකුගෙන් මුලපිරීම සහ අත් නොහැරීමේ දේශපාලනය.
අපි හිතනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විතරක් නෙවෙයි, වාමාංශික අපි හැමෝටම බලකිරීමක් තියෙනවා මේ දේශපාලන වකවානුවේ ලෝකෙ කොහේ හිටියත්, වාමාංශිකයන් හැටියට අත් නොහැර සටන් වැදීමේ දේශපාලනයක් ගොඩනැගීමට.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි හිතනවා එවැනි මුලපිරීමක් අවශ්‍ය බව. අපගේ ක්‍රියාකාරිත්වය පැවති දේශපාලන ව්‍යාපාරයෙන් එළියට එනකොට අපට තිබුණා නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ අභියෝගයක්. නිවැරදි වමක දේශපාලන බලාපොරොත්තුවක් බොහෝ දෙනෙක් තුල තිබුණා. අපි මුලපිරීම පටන් ගෙන තියෙනවා. අපි මුලපිරීම තෝරා ගත්තෙ එකම එක අරගලයක පක්ෂයක නිර්මාණයක් ලෙස. ඒ මුලපිරීම ඇතුලෙ අපි දැක්කෙ මහා විශාල අත් හැරීම්.
හැරයාම්, පලායාම්, බිඳ වැටීම් අතරෙ තමයි මේ සාකච්ඡාව අපට ගොඩනගන්න සිදු වුනේ. අත් නොහැරීම කියන එක අදත් වාමාංශික ව්‍යාපාරයේ ජීවමාන මිනිසුන් තුල වගේම එදා 71 අරගලයේදී අරමුණ පාවා නොදී ජීවිත පරිත්‍යාග කරපු දහස් ගණනකගෙ කතාව ඇතුලෙ ඉතාම ගැඹුරින් තියෙනවා. ඒකට ධෛර්යයක්, විශ්වාසයක් ගොඩනගා ගත යුතුයි. ඒකට වෙන ක්‍රමයක් නෑ. ඒකට මහා මිනිස් කැපකිරීමක්, දේශපාලන භාවිතාවක් ඕන. ඒ මහා මිනිස් භාවිතාව අපේ සමාජයේ පලවෙනි වතාවට, අපේ ඇස් ඉස්සරහ අත්දැකීම තමයි 71 අරගලය. ඒ නිසා තමයි අපි කියන්නේ ‘ශ්‍රෙෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක්’ කියලා. 71ක අරගලයේ නොමියෙන අරමුණක් තිබුණා, ධනවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගිය යුතුයි කියලා.
ඉතින් අපට දැන් කියන්න තියෙනවා වැදගත් කාරණයක්. මේක වරදවා තේරුම් ගන්න එපා. නමුත් අපට කියන්න වෙනවා අපට 71 අවශ්‍යව තිබේ කියලා. එදා ඒ ශ්‍රේෂ්ට කැපකිරීම කළ මිනිසුන්ගේ අර්ථයෙන් අපට අදත් මුලපිරීමක් අවශ්‍යයි. ඒ නිසා අදත් අපට ඒ නොමියෙන අරමුණ මඟ ඇරලා යන්න බෑ. මොකක්ද ඒ අරමුණ. සමාජවාදය ගොඩනගන දේශපාලන මිනිස් පවුරක්, කඳවුරක්, පක්ෂයක්, විප්ලවවාදි සංවිධානයක් ගොඩනැගීම සඳහා 71 යළිත් අපට අත්‍යවශ්‍යයි. ඒ 71 අප්‍රේල් 5, සිද්ධ වෙච්ච විදියට නෙවෙයි. පන්තියේ සහභාගිත්වයෙන් තොරව නෙවෙයි. පන්ති බලවේගවල සංවිධානය වීමකින් තොරව නෙවෙයි. පන්ති බලවේග සංවිධානය කරමින්, පන්තිය සමඟ එකිනෙකට ගැටෙමින්, අපේ භාවිතාව පන්තිය හොඳින් දැන හඳුනාගනිමින් කෙරෙන ජනතා අරගලයක් යලි අවශ්‍යව තිබේ.
ඒක අපි මෙහෙම කිව්වත් නැතත්, නව ලිබරල් ධනවාදය ඉස්සරහ වහලුන් වීමේ කොන්දේසිය තෝරාගන්න මිනිසුන්ට හැර, අන් සියල්ලන්ටම ඒක අත්‍යවශ්‍ය වෙනවා. අප නැතත් ධනවාදයට එරෙහිව සංවිධානය වන වාමාංශය හෙට මේ සාකච්ඡාව ගන්නවා. ඒ සඳහා 71 අපට මහා දැවැන්ත බලපෑමක් කරනවා වගේම, ඉතාම දුෂ්කර මොහොතක මුලපිරීමක් පටන් ගත්තු අපිට අත් නොහැර දේශපාලනය කිරීමේ අරමුණත් 71 අරගලය ගේනවා. 71 ඇතුලෙ තියෙනවා මුලපිරීම. ඉතාම ටික දෙනෙකුගෙන් මුලපිරීම සහ අත් නොහැරීමේ දේශපාලනය. අත් නොහැරීමේ වගකීම.
දැන් තියෙන්නේ අපි එයට මුහුණ දෙන්නට සමත් වන්නේ කෙසේද යන්න යි. ලෙනින් කියනවා වගේම අප පක්ෂය මිනිසුන් අතර, පන්ති බලවේග අතර කෙතෙක් දුරට කිඳා බසින්න සූදානම්ද? ඒක දුෂ්කරයි තමයි. ජාතිවාදයට විරුද්ධව, නව ලිබරල් ධනවාදයට එරෙහිව, ඉතා පුළුල් දේශපාලන සංවාදයක් නිර්මාණය කරමින් අධිෂ්ඨානශීලිව අපේ පක්ෂය සමාජයේ විවිධ තීරු කරා ගලා යන්න පටන් ගන්න ඕන.
මේ දුෂ්කර මොහොතෙ අපි අඩුම ගානෙ දේශපාලන පණිවිඩයක් දිය යුතුයි අපේ පන්තියට. 71 අප්‍රේල් 5දා වගේ මොන ක්‍රමයෙන් හරි රාජ්‍ය බලය බලාපොරොත්තු වනවාට වඩා, අපි ගෙන ආ යුතු දේශපාලන බලාපොරොත්තුව තමයි;ලාංකීය වම හැටියට අපට ‘අපේ පන්තියට වමක් නිර්මානය වෙමින් තිබේ’ කියන දේශපාලන පණිවිඩය. දැන් හීන් කෙඳිරියක් වගේ ඒක ඇහෙමින් තියෙනවා. ඒක තමයි අපේ පලවෙනි ජයග්‍රහණය.!

Related News