ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමේ කොන්දේසි මත ජී.එස්.පී. ප්ලස් සහනය ඉල්ලන්න මෛත්‍රී හරස් වේ.
යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදුන් බවට ආණ්ඩුව විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියද එහිදී ආණ්ඩුව විසින් ඉටු කළ යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතු අසම්පූර්ණ නිසා තවමත් සහනය ලබාදෙන්නට යුරෝපා කොමිසම පූර්ණ ලෙස එකග වී නැත. අගමැතිවරයා විසින් ජනවාරි 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ජී.එස්.පී. සහනය ලබාගෙන ඇති බව සදහන් කළද එය ජනතාව නොමැග යවමින් දේශපාලන වාසි ගැනීමේ උත්සාහයක් බව හෙළිදරව් විය. මෙම වෙළෙද සහනය ප්‍රදානය කිරීමේදී යුරෝපා සංගමය විසින් කොන්දේසි ඉදිරිපත් කිරීමක් කරන අතර ලංකාවට අදාළව කොන්දේසි 50කට අධික ප්‍රමාණයක් පසුගිය කාලයේ යුරෝපා සංගමයෙන් ඉදිරිපත් කර ඇත. මෙම කොන්දේසි අතර මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රමිතීන් අඩංගුය. එසේම යුද්ධයෙන් පසුව සංහිදියාව ඇතිකිරීමට ඉටු කරන බවට රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු පවා ඉටු කිරීමට නොහැකිවීම තුළ ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබද අනුමැතිය ලබාගැනීමේ දුෂ්කරතාවක් ඇතිව තිබේ.
මේ අතර යුද ගැටුම් පැවැති සමයේදී සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට විදේශ විනිසුරුවන් පත් කළ යුතු බවට විද්වත් කමිටුවකින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළවී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරයට පටහැනි නිර්දේශ මෙම කමිටු වාර්තාව මගින් ඉදිරිපත් කිරීම නිසා එය මෙසේ ක්‍රියාත්මක නොකිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා මෙම කමිටු වාර්තාව දැඩි ලෙස විවේචනය කර තිබේ. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ යුරෝපා සංගමය යළි මෙරටට දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය පදනම් කරගනිමින් වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාව යුරෝපයෙන් ලබන අපනයන ආදායම පස් ගුණයකින් වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බවයි.