ඉස්ලාමික රාජ්‍ය සංවිධානය පැරීසියට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරයත් සමඟම සිරියාවෙහි සිවිල් යුද්ධයට මැදිව සිටින සිටින දසලක්ෂ සංඛ්‍යාත ජනයා වඩාත් බිහිසුණු ඉරණමකට මුහුණ දුන්හ.
ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ ‘තීරණ’ බටහිර සහ රුසියාවෙහි මෙන්ම මැද පෙරදිග පාලනය හොබවන ඔබාමා, පුටින්, හොලන්ඬේ, එර්ඩෝගන් ඇතුළු යුද වංශාධිපතින් අතට මාරු වෙමින් පවතී. සියල්ලන්ම මතුරමින් සිටින එකම මන්ත‍්‍රය වනුයේ ‘අනුකම්පා විරහිතව පහර දෙනු’ යන්නය. වහාම ක‍්‍රියාත්මක වූ ප‍්‍රංශයද වඩා ප‍්‍රබල ලෙස සිරියාවෙහි ගුවන් ප‍්‍රහාර සඳහා මැදිහත්ව සිටියි. ඊට පිටුබලය සපයනු පිණිස ඔවුන්ගේ චාර්ල්ස් ඩිගෝල් නම් ගුවන්යානා ප‍්‍රහාරක නෞකාවද නැෙඟනහිර මධ්‍යධරණි මුහුදට අවතීර්ණව සිටියි. ඉහත කී සියල්ලන්ගේ ‘ප‍්‍රකාශිත සතුරා’ ඉස්ලාමික රාජ්‍ය සංවිධානයයි. නමුත් යුද භූමිය තුළ ප‍්‍රහාරයන්හි ප‍්‍රමුඛ ගොදුර බවට පත්ව සිටිනුයේ යුද්ධයට සම්බන්ධයක් නොමැති සිවිල් ජනයාය. පසුගිය දිනකීපය තුළ පමණක් සියයකට අධික සිරියානු සිවිල් වැසියන් පිරිසක් ගුවන් ප‍්‍රහාරවලින් මරා දමනු ලැබ තිබේ. දිනෙන් දින පවතින අනතුරුදායක තත්වය වර්ධනය වෙමින්ද පවතී.
බටහිර රාජ්‍යයන් සමඟ පළල් එකඟතා සහිත මානව හිමිකම් සංවිධානවලට පවා ඉහත කී යථාර්ථය පිළිගැනීමට සිදුව තිබේ. නිදසුනක් ලෙස එක්සත් රාජධානිය මත පදනම්ව ක‍්‍රියාත්මක වන මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණායතනය කියා සිටිනුයේ එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ඒවා ආරම්භ වූ වර්ෂ 2014 සැප්තැම්බරයේ සිට මේ දක්වා අවම වශයෙන් 3952ක පිරිසක් මිය ගොස් ඇති බවයි. ඊට සිවිල් වැසියන් 250ක්ද ඇතුළත්ය. ඔවුන්ට අනුව වර්ෂ 2014 සැප්තැම්බරයේ සිට මේ දක්වා වන කාලය තුළ සිරියානු රජයේ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් 7000කට ආසන්න සිවිල් වැසියන් ප‍්‍රමාණයක් මරුමුවට පත්ව තිබේ. එමෙන්ම ඔවුනට අනුව රුසියානු ගුවන් ප‍්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 403කි.
නමුත් ඉහත කී සංඛ්‍යා ලේඛන අතිශයින්ම පාර්ශ්වීය සහ අසම්පූර්ණ බවට බරපතළ චෝදනා නැඟී තිබේ. විශේෂයෙන්ම ‘රෂියා ටුඬේ‘ ඇතුළු රුසියානු හිතවාදී මාධ්‍ය මඟින් චෝදනා කරනුයේ මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණායතනය සිරියාවට එරෙහි බටහිර යුද ව්‍යාපෘතියේම කොටසක් බවයි. සංඛ්‍යා ලේඛන පිළිබඳව එකිනෙකාගේ ‘වචන හරඹයන්’ තිබියදීම ඒවායින් එක් මූලික කාරණයක් ඉස්මතුව තිබේ. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් සිදු කෙරෙන ඉහත කී ඊනියා ගුවන් ප‍්‍රහාර දැනටමත් මිනිසුන් දහස් ගණනින් මෙන්ම ඔවුන් ගොඩනැඟූ සංස්කෘතියද මරුමුවෙහි හෙළා ඇති බවයි.
ඒ අතරම සමස්තයක් ලෙස ගත් විට සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් එය ආරම්භ වූ වර්ෂ 2011 සිට 250,000කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇති බව මානව හිමිකම් ආරක්ෂකයෝ ඇතුළු මානව හිමිකම් සංවිධාන ගණනාවක නිරීක්ෂණය වී තිබේ. ඊට අමතරව නිවාස අතහැර පළා ගොස් ඇති සංඛ්‍යාව මිලියන 11 ඉක්මවයි.
නමුත් මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂිත කාරණයක්ද තිබේ.
සිරියානු සිවිල් යුද්ධය මෙන්ම සමාන්තර කලාපීය ගැටුම් සම්බන්ධව ගත් විට බටහිර අධිපති ජනමාධ්‍යයන් සහ මානව හිමිකම් සංවිධාන
අනුගමනය කරමින් සිටිනුයේ ‘පක්ෂපාතී’ සහ ‘ආචාර ධාර්මික නොවන’ ප‍්‍රතිපත්තියකි. නිදසුනක් ලෙස සිරියාවෙහි සිවිල් යුද්ධය ගතහොත් ඒවාට අනුව එහි සම්පූර්ණ වගකිවයුත්තා ජනාධිපති අසාද්ය. එපමණක් නොව, ඉස්ලාමික රාජ්‍ය සංවිධානය බිහිවනුයේද ඔහුගේ පාලනයෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. අසාද් ඒකාධිපතියකු බව පැහැදිලි කරුණකි. වඩාත් නිරවුල්ව කිවහොත් තවත් ධනේශ්වර ඒකාධිපතියෙකි. නමුත් අදාළ මාධ්‍ය මෙන්ම මානව හිමිකම් සංවිධාන හිතාමතාම වසන් කරන නිශ්චිත කාරණයක් තිබේ. එනම්, සිරියාවෙහි මෙන්ම යාබද ඉරාකයෙහිද ඇවිල යන සිවිල් යුද්ධයන්හි ප‍්‍රධාන නිර්මාපකයා එක්සත් ජනපදය සහ එහි බටහිර මෙන්ම ‘මැදපෙරදිග මිතුරන්’ බවය. ඔවුන් එහිදී තම භූ-දේශපාලනික උපායමාර්ග යටතේ ඉස්ලාමික රාජ්‍ය සංවිධානයෙහි බිහිවීමට අවශ්‍ය පදනම සැකසුවාක් මෙන්ම එය විවිධ ලෙස නඩත්තු කරමින්ද සිටියි.
ඔබාමා ප‍්‍රමුඛ බටහිර සහ මැද පෙරදිග යුද සන්ධානය මෙහෙයවන ඊනියා ගුවන් ප‍්‍රහාරද ඊට යටත්ය. ඒවා ඉස්ලාමික රාජ්‍ය සංවිධානය කිසියම් පාලනයකට නතු කර ගැනීමේ ඉලක්කයෙන් ඔබ්බට නොයන බව දැන් ඇති තරම් පැහැදිලි වී තිබේ. තුර්කිය රුසියානු ගුවන් යානාවක් වෙඩි තබා බිම හෙළීම සම්බන්ධ ක‍්‍රියාවලියෙහි පදනමද මෙයයි. එර්ඩෝගන් පාලනය ඉස්ලාමික රාජ්‍ය සංවිධානයෙහි ප‍්‍රබල සැපයුම්කරුවෙකි. ඒ අතරම එක්සත් ජනපදයෙහි සමීප මිත‍්‍රයෙක් මෙන්ම නේටෝවෙහි සාමාජිකයෙකි. නමුත් රුසියානු ගුවන් ප‍්‍රහාර හේතුවෙන් එක්සත් ජනපදයේ මෙන්ම එහි මිතුරන්ගේ උපාය මාර්ගයට බාධා එල්ල වෙමින් පවතී. අසාද් පාලනය ක‍්‍රමිකව තම බලය ව්‍යාප්ත කරගන්නා අතරම ඉස්ලාමික රාජ්‍ය සංවිධානය කිසියම් ආකාරයකින් දුර්වල වන බව ඔවුනට නිරීක්ෂණය වී තිබේ. තුර්කිය සෘජුවම මැදිහත්ව ඇත්තේ එම ක‍්‍රියාවලිය ඛණ්ඩනය කරවනු පිණිසය. නමුත් බටහිර අධිපති ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වනුයේ තුර්කි ගුවන් සීමාවෙහි ‘ස්වෛරීත්වය’ යන කාරණය මතය. අන්කාරා පාලකයන් ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට දක්වන අනුග‍්‍රහය පසෙකින් තබමු. අවම වශයෙන්, ඔවුන්
පසුගිය 2014 වසර තුළදී යාබද ග‍්‍රීසියෙහි ගුවන් සීමාව අවස්ථා 2000කට වැඩි ගණනකදී උල්ලංඝනය කර ඇත යන ප‍්‍රවෘත්තිය පවා ඉහත කී ජනමාධ්‍යයන්ට හසු නොවෙයි.
නිශ්චිත සිදුවීමක් ලෙස නොවැම්බර් 13 පැරිස් ප‍්‍රහාරය ගත් විටද මෙම තත්වය පැහැදිලි කර ගත හැකිය. බටහිර අධිපති ජනමාධ්‍ය ඊට අදාළවද අනුගමනය කරමින් සිටිනුයේ දෙබිඩි සහ ආචාරධාර්මික නොවන ප‍්‍රතිපත්තියකි. සැබවින්ම අදාළ ප‍්‍රහාරය හෙළා දැකිය යුතු ම්ලේච්ඡු ක‍්‍රියාවක් බව අවිවාදිතය. නමුත් අදාළ ජනමාධ්‍ය ඊට අතිශය භාවාත්මක සහ සුවිශේෂී කේන්ද්‍රීය වටිනාකමක් සපයනු දක්නට හැකි විණි. ෆෙස්බුක් සමාජ ජාලය තවදුරටත් ඉදිරියට ගොස් එහි සාමාජිකයන්ට ශෝකය පළ කරනු පිණිස ප‍්‍රංශ ධජයෙන් තම ප්‍රොෆයිලය වර්ණවත් කරගැනීමටද ඉඩ කඩ සැලසීය. නමුත් යුරෝපයෙන් පිටත එවැනි සිදුවීම් සම්බන්ධව අදාළ මාධ්‍යයන්හි භාවිතය සපුරාම වෙනස්ය. නිදසුනක් ලෙස පැරිස් ප‍්‍රහාරයට පෙර දින, එනම්, ඉස්ලාමික රාජ්‍ය සංවිධානය ලෙබනනයේ හිස්බුල්ලා බලප‍්‍රදේශයක් වන දකුණු බේරුට්වලට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කොට පුද්ගලයන් 44ක් මරා දැමූ විට ඉහත කී මාධ්‍යයන්ට එය තවත් එක් ප‍්‍රවෘත්තියක් පමණක් විය. සිනායි අර්ධද්වීපයට ඉහළින් පියාසර කරමින් තිබූ රුසියානු ගුවන් යානය පුපුරුවා හැර 224ක පිරිසක් මරා දැමූ විටද දැකිය හැකි වූයේ ඊට සමාන තත්වයකි. පසුගිය ඔක්තෝබරයේදී කුර්දි තරුණයන් 102කට මරු කැඳවූ ඉස්තාම්බුල් බෝම්බ ප‍්‍රහාරය මෙන්ම පලස්තීනුවන් 2000කට වඩා මරා දමමින් ඊශ‍්‍රායලය වර්ෂ 2014හි ගාසාහි සිදු කළ සංහාරය මෙය තහවුරු කරන තවත් සිදුවීම් දෙකකි. තවත් එවැනි නිදසුන් ගණනාවකි.
ඒ සෑම අවස්ථාවකදීම පාහේ අදාළ ජනමාධ්‍යයේ අපට ඒත්තු ගන්වනු ලැබ ඇත්තේ ඒවා සාමාන්‍ය – ස්වභාවික සිදුවීම් බවය. එමෙන්ම ෆේස්බුක් සමාජ ජාලය අදාළ රටවල ධජය එසවීමට එහි සාමාජිකයන්ව පොලඹවනු ලැබුවේ නැත. ඒ අතරම රුසියාව මෙන්ම එහි පරිවාරක ජනමාධ්‍යයද මෙම අර්බුදයේදී ‘විශේෂිත යුග මෙහෙවරක්’ ඉටු නොකිරීම අවධාරණය කළ යුතුය. ඔවුන්
කුළුගැන්වී සිටිනුයේද එක්සත් ජනපදය සමඟ තරගකාරී ලෙස ලෝකය යළි බෙදා ගැනීමේ සාපරාධී අභිලාෂයෙනි.
අද වන විට සිරියාවට බෝම්බ හෙළනු පිණිස පැරිස් ප‍්‍රහාරයෙන් කම්පනයට පත් වූ විවිධ ලිබරල්වාදීන්ගේ සිට සමාජවාදීන් දක්වා වූ පළල් ජනකායක අනුග‍්‍රහය ලැබී තිබේ. බොහෝ ලාංකිකයන් පිළිගැනීමට කොතරම් අකමැතිවුවත් වෙල්ලමුල්ලෙයි- වයික්කාල්වලදීද සිදුවූයේ මෙයමය. ලේ වැකි
ප‍්‍රාග්ධනයෙහි තර්කණය ‘පොදු මානව අභිලාෂය’ ලෙස ඉහළට එසවෙමින් පවතී. වම සටන් වැදිය යුත්තේ ඊට එරෙහිවය.
ගාමිණී හෙට්ටිපතිරගේ