සිංහල සාහිත්‍යයේ පුරෝගාමියකු වූ සිරි ගුණසිංහ අභාවප්‍රාප්ත වේ

සිංහල සාහිත්‍යෙය් සහ විශේෂයෙන් සිංහල කවියට නව මානයක් එක් කළ ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ අභාවයට පත්ව තිබේ.

‘මස් ලේ නැති ඇට‘ සහ ‘හෙවනැල්ල‘ කෘති ඔහුගේ එම විශේෂ සාහිත්‍ය ප්‍රවේශයන් සටහන් කළ කෘති ලෙස සැලකේ.

1925 පෙබරවාරි 18 වැනිදා ගාල්ලේ උපන් ගුණසිංහ 1942 දී ලංකා විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු එකල යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.

1956 දී ‘මස් ලේ නැති ඇට‘ නමැති පද්‍ය සංග්‍රහය ලියූ ගුණසිංහ සාම්ප්‍රදායික සදැස් හා විරිත් කවිය වෙනුවට නිදහස් ආරක කවි සම්ප්‍රදායක් සිංහල කවියට හදුන්වා දෙන්නට උත්සාහ කළ පුරෝගාමියා ලෙස සැළකේ. ඉන් පසු පළ වූ ‘අබිනික්මන‘ සහ ‘රතු කැකුළ‘ යන පද්‍ය සංග්‍රහ දෙකෙහිම අඩංගු වූයේ එම කාව්‍ය රීතිය තහවුරු කරන්නට ඔහු ගත් උත්සාහය නිරූපණය කළ නිර්මාණ විය.

ඔහු 1950 දී The Observer Annual සඟරාවට ලියූ The New Note in Contemporary Sinhalese Poetry නමැති ලිපිය නූතන කාව්‍ය විචාරයේ වැදගත් සන්ධිස්ථානයකි. එහි දී ඔහු එවක ස්ථාපිත ව ද ජනප්‍රිය ව ද පැවති “කොළඹ කවිය” ක්‍රමානුකූල විවේචනයට පාත්‍ර කළ අතර එම ප්‍රවණතාවේ නිශේධාත්මක පැති පෙන්වා දුන්නේ ය.

දිණමිණ පුවත් පතට සැපයූ ගුණසිංහ මහතා  1960 වසරේ පළ කළ හෙවනැල්ල නවකතාව ද එවැනි ම ආන්දෝලනයක් ඇති කළේ ය. මුල් ම වරට විඥානධාරා රීතිය සිංහල නවකතාවක් තුළ භාවිත වූයේ මෙහි දී බැව් සැලකේ.  හෙවනැල්ල නවකතාවේ දෙවැනි කොටස ලෙස රචිත ‘මන්දාරම‘ පළ වූයේ 1994 දී ය.

වියුක්ත චිත්‍ර ශිල්පියකු වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනවල දී සිය කෘති ප්‍රදර්ශනය කළ අතර එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යය ඇතුළු විවිධ වේදිකා නාට්‍යවලට රංග වස්ත්‍ර නිර්මාණකරුවකු වශයෙන් සම්බන්ධ විය. ඔහුගේ චිත්‍ර ශිල්පී දක්ෂතා පොත් කවර නිර්මාපකයකු වශයෙන් විශාල කීර්තියක් අත් කර දීමට ද ඉවහල් විය.

විචාරක ප්‍රසාදය මෙන් ම සරසවි සම්මාන ගණනාවක් ද දිනූ “සත් සමුදුර” චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සහ එක ම සිනමා කෘතිය විය. පසු කලෙක ගුත්තිල කාව්‍යය සංගීතමය ටෙලි නාට්‍යයකට නඟා අධ්‍යක්ෂණය කළේ ද සිරි ගුණසිංහ මහතාය.

1970 සිට කැනඩාවේ පදිංචි ව සිටින සිරි ගුණසිංහ මහතා එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය. මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය.

Leave a Reply