පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට අදාල නඩුව අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අතර, එහිදී කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය ඉදිරිපත් කළ කරුණු සහමුලින්ම ගොතා ඉදිරිපත් කරන ලද්දක් බව පැහැදිළි විය.
අදාල නඩුව කැදවු අවස්ථාවේදී පළමු සාක්ෂිය ඉදිරිපත් කරමින් කැගල්ල පොලිසිය පැවසුවේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට තමන්ට කිසිදු ඉහළ නිලධාරියෙක්ගෙන් හෝ දේශපාලන අධිකාරියෙන් නියෝගයක් නොලැබුණු බවයි. එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී තමන් අත්අඩංගුවට ගැනීමට යන්නේ කුමාර් ගුණරත්නම් බව නොදන්නා බවත් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කෑගල්ල පොලිසිය පැවසුවේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ අදාල නිවසට නාදුනන පිරිස් නිරතුරුවට පැමිණෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය හෙවත් 119 වෙත නිර්නාමික දුරකතන පනිවිඩ ගණනාවක් ලැබුණු බවත්, අදාල ඇමතුම් තොරුතුරු අනුව අදාල නිවස පරීක්ෂා කිරීමට කෑගල්ල පොලිස් නිලධාරීන් එම නිවසට ගිය බවත්ය.
ඒ අවස්ථාවේදී නිවසේ ඉදිරි දොර වසා දමා තිබූ බැවින් පොලිසියට එම ස්ථානය පිළිබද සැක මතුවුණු බවත්, එම සැකය පදනම් කොට නිවස වටා පොලිස් නිලධාරීන් යොදවා නිවසේ පිටුපස දොරටුවෙන් ඇතුළු වුණු බවත්ය. ඒ අවස්තාවේදී නිවස තුළ සිට පැමිණි පුද්ගලයාට සිය අනන්‍යතාවය හෙළි කිරිමට නොහැකි වූ බැවින් ඔහු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කුමාර් ගුණරත්නම් බව හෙළි වූ බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටි නීතිඡයින් විසින් එසේ අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වු පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන නීතිය පදනම් කර ගනිමින්ද යනුවෙන් විමසූ අවස්තාවේදී පොලිසිය නිරුත්තර විය. මෙහිදී කරුණු දක්වමින් නීතීඥවරුන් පැවසුවේ අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අදාල කිසිදු නීතියක් නොමැති බවයි.
පසුව වැඩිදුරටත් කරුණු දක්වමින් කෑගල්ල පොලිසිය පැවසුවේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එවන ලද ලිපියක් ඇති බව දැනගත් බවයි. එහිදී විත්තියේ නීතිඥවරුන් ප්‍රශ්න කරමින් පොලිසියෙන් විමසුවේ අදාල ලිපිට ලැබුණු දිනය කවදාද යන්න හා එසේ ලැබෙන ලිපි සටහන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද යන්නයි. එහිදී පොලිසිය පැවසුවේ ෆැක්ස් මගින් ලැබෙන ලිපි සටහන් කර ගැනීමට අදාල පොතක් ඇති බවත්, එම පොතේ ලැබෙන ෆැක්ස් සම්බන්ධ සටහන් තබන බවයි.
මෙහිදී නඩුව පෙබරවාරි 23 වන දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එදිනට එම සටහන් පොත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසුවේ අදාල ලිපිය කැගල්ල පොලිසිය වෙත කලින් ලැබුණු ලිපියක් නොවන බවත්, කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා සම්බන්ධ වූ ගෙන්වා ගත් ලිපියක් බවත්, අදාල ලිපිය ගෙන්වා ගැනීමේදී තමන්ද කෑගල්ල පොලිස් ස්ථානයේ සිටි බවත්ය.
කෙසේ වෙතත් කෑගල්ල පොලිසිය අද දින මහේස්ත්‍රාත් අධිකරනයේදී ඉදිරිපත් කළ සාක්ෂි සුරංගනා කතාවක් බවත්, නිලධාරීන් අදාල සාක්ෂි පරිකල්පනය කොට නිර්මාණය කරන ලද්දක් බවත් පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසීය.


