නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට හා වෘත්තීය සමිති කටයුතුවලට යොදා ගැනීම බුදු දහමේ ඉගැන්වීම්වලට පටහැනි බව පවසමින් කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන නා හිමියන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර දුන්නේය.
ඒ අනුව ලබන 29 වන දිනට පෙර විරෝධතා ගොනු කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශවකරුවන්ට අධිකරණය නියෝග කළේය. අදාල පෙත්සම ඉදිරිපත් කරමින් පත්බේරියේ විමලඥාන හිමියන් කරුණු දක්වා ඇත්තේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තිය සමිති කටයුතුවලට භාවිත කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට දැඩි හිරිහැරයක් ද සිදු වන බවයි.
එමෙන්ම අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් ද ගැටළු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බව පත්බේරියේ විමලඥාන හිමියේ පවසා ඇත.


