රාජිත ජාවාරම්කරුවන්ට යටවී ඖෂධ අධිකාරියේ ලොක්කන් නෙරපයි

rajitha-senarathne

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් අනුමත කරන ලෙස ඉල්ලූ ඖෂධ වර්ග කිහිපයක් අනුමත කිරීම ප‍්‍ර‍්‍රතික්ෂේප කිරීම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි බලපෑම් කර ඇති බව වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි සහ උප සභාපති ආචාර්ය කි‍්‍රශාන්ත වීරසූරිය පසු ගිය සතියේ සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇත්තේ මෙම බලපෑම නිසා බවද වාර්තා වේ. මෙලෙස අර්බූදයට හේතු වූ ඖෂධ අතර මිල අධික පිළිකා ඖෂධද තිබෙන බව වාර්තා වේ. එම ඖෂධ කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ඇමැතිවරයා මැදිහත් වන්නේ එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ ඇති කරගත් සම්මුතියක් නිසා දැයි ප‍්‍රශ්න කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෝ මේ පිටුපස මුදල් වංචාවක් ඇති බවටද සැක පහළ කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත‍්‍රීවරයා හැර ඉතිරි සියලූ දෙනාම එයට පක්ෂව ඡුන්දය භාවිත කළේය. විරුද්ධ වූ මන්ත‍්‍රීවරයා එයට විරුද්ධ වීමට ප‍්‍රධාන හේතු දෙක ලෙස දැක්වූයේ අධිකාරියේ සාමාජිකයන්ගෙන් බහුතරය ඇමැතිවරයාට පත්කිරීමට හා ඉවත් කිරීමට හැකි වීමත් අධිකාරියේ වියදම් සඳහා ඖෂධ සමාගම්වලට මැදිහත්වීමට අවකාශය සලසා තිබීමත්ය. මෙවර අයවැයෙන් ඖෂධ නියාමන අධිකාරිය සඳහා මුදල් වෙන් කර නැති තත්වයක් තුළ එය මුළුමනින්ම ඖෂධ සමාගම්වල රූකඩයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් අධිකාරියේ සභාපති ධුරයට ඇමැතිවරයාගේ සමීපතමයෙක් වන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතුල කහඳලියනගේ පත් කිරීමට යන බව පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට වාර්තා විය.