බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බවට ලද චෝදනා එල්ල වී තිබූ ‘රාවණා බලය’ සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ ‘සිහළ රාවය’ සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු පිරිසක් අද හෝමාගම පොලිසියට භාර වී ඇත.පොලිසියට භාර වු හිමිවරුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා මෙම හිමිවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම හිමිවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම, උසාවි භූමියේ කළහකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබූ අතර, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර පොලිසියට නියෝග කර තිබිණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී ඉහත කී හිමිවරුන් ඥානසාර හිමියන් උසාවි භුමියේ සිට බන්ධනාගාරය ගෙනයාම වළක්වමින් විරෝධතා සිදු කළ අතර, පසුව ඥානසාර හිමියන් බන්ධනාගාර ගතකරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායෙනි.


