පසුගිය සතියේ ජනරළ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කළේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි සහ උප සභාපති ක්‍රිශාන්ත වීරසූරිය ඉල්ලා අස්වීමට හේතුව දේශපාලන බලපෑම් බව. ඖෂධ ලැයිස්තුවක් අනුමත කරන ලෙස ඇමතිවරයා අධිකාරියට නියෝග කළ බවත් එය ප්‍රතික්ෂේප කළ නිසා අධිකාරියේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න බල කර ඇති බවත් වාර්තා වුනා. එම ඖෂධ වල ගුණාත්මක තත්වය පිළිබඳව අදාළ විශේෂඥයන් පරීක්ෂා කිරීමටත් පෙර ඒවා අනුමත කිරීමේ තදියමක් ඇමතිවරයාට එන්නෙත්, විශේෂඥයන් අනුමත කළ නොහැකි බව පවසන ඖෂධ අනුමත කරවා ගන්න ඇමතිවරයාට විශේෂ උනන්දුවක් එන්නෙත් කුමක් නිසාද? මේ පිටුපස ඖෂධ සමාගම් හස්තයන් සහ අල්ලස්, දුෂණ පවතිනවාද? මේ ප්‍රශ්න ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කතා බහක් පවතින අතර අපි කාලයකට පෙර අපි කතා කළ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ගැන කතා බහට පිවිසෙමු.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කිරීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනතක් ගෙන එන බවට මේ ආණ්ඩුවේ නායකයන් පොරොන්දු වුනා. නමුත් අන්තිමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය, ඖෂධ මිල පාලනය, අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සහ නිෂ්පාදනය රජය මගින් සිදු කිරීම, ඖෂධ නිර්දේශ කිරීම ඖෂධ නාමයෙන් පමණක් සිදු කිරීම වැනි ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංග එහි ඇතුලත් වුනේ නෑ. ඒ වෙනුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඖෂධ වල ගුණාත්මක තත්වය පරීක්ෂා කරන සහ නියාමනය කරන බලය සහිත අධිකාරියක්. එහෙම එකක් එන එකත් වැදගත්. නමුත් මේ පනත තුළ ප්‍රශ්න ගණනාවක් තිබුනා. ඒ ප්‍රශ්න සහ ඒවායෙන් මතුවිය හැකි භයානක අනාගත ප්‍රතිපල පිළිබඳව අපි ජනරළ තුළින් කතා කළා ඔබට මතක ඇති. දැන් දවසින් දවස ඔප්පු වෙන්නේ අපි කළ අනතුරු ඇඟවීම් කොරහේ කිඹුලන් දැකීමක් නොව ඇත්තම අවදානමක් බව. ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වීමත් රටේ ජනතාවට සෞඛ්‍ය ඇමති රාජිත නියම කරන බෙහෙත් බොන්නට සිදු වීමත් එදා ඒ අවදානම නොසලකා හැරීමේ ප්‍රතිවිපාක. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වනවිට එයට එරෙහිව තිබුනේ එක ඡන්දයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රී වරයාගේ ඡන්දය විතරයි.
අපි ඒ දිනවල මතුකළ ප්‍රශ්න කිහිපයක් නැවත සිහිපත් කර ගනිමු. ඖෂධ මිල පාලනයක් නැති වීමත් ඖෂධ නිර්දේශ කිරීම ඖෂධීය නාමයෙන් නොව වෙළඳ නාමයෙන් සිදු කිරීම නීතිගත කිරීමත් නිසා ඖෂධ සමාගම් වලට හිතෙන හිතෙන විදියට රෝගීන් සූරාකන්න හැකිවන බව අපි කිව්වා. නමුත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කිව්වේ මේ පනත සම්මත වෙලා සතියක් ඇතුලත බෙහෙත් මිල අඩකින් පමණ අඩුවන බව. අන්තිමේදී පනත සම්මත වෙලා අවුරුද්දක් ඇතුලත වුනේ මොකක්ද? බෙහෙත් මිල 200%-300% අතර ප්‍රමාණයකින් ඉහල ගියා. පනතට අදාලව අපි මතුකළ කරුණු කිහිපයක් තිබුනා. එකක් පනත් කෙටුම්පතේ 4(6) වගන්තියට අනුව ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් 13 දෙනාගෙන් 10 දෙනෙකුම පත් කරන්නේ ඇමති. 9(2) වගන්තියට අනුව ඔවුන් තමන් හිතන ඕනෑම මොහොතක ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. 5(1) සහ 5(3) වගන්ති වලට අනුව අධිකාරියේ සභාපති වරයා පත් කරන්න වගේම ඕනෑම මොහොතක ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. 123(1) වගන්තියට අනුව අධිකාරිය ගනු ලබන තීරණ පිළිබඳව තෘප්තිමත් නැතිනම් සමාගම් වලට අභියාචනා කරන්න තිබෙන අභියාචනා මණ්ඩලයේ තුන් දෙනාම පත් කරන්නේ ඇමති. ඒ විතරක් නෙවෙයි, 123(7) වගන්තියට අනුව ඒ අභියාචනා මණ්ඩලයේ තීරණ අධිකාරිය අනිවාර්යයෙන්ම පිළිගත් යුතුයි. මේ පනතින් ඇමතිවරයාට අසීමිත බලයක් මධ්‍යගත කර තිබීම අපි විවේචනය කළා. ලංකාවේම ජනතාවගේ ජීවිත වල ඉරණම තනි පුද්ගලයෙකු මත තීරණය වන තත්වය හොඳ තත්වයක් නෙවෙයි. අධිකාරියට කරන දේශපාලන බලපෑම් හරහා අන්තිමේදී ඔප්පු වෙමින් පවතින්නේ පනතට කළ විවේචන නිවැරදි බව. ඇමතිවරයා සමාගම් වලින් අල්ලස් ගත්තොත් සමස්ත සමාජයේම ජීවිත අනතුරේ. දැන් මේ අත්තනෝමතික බලය භාවිතා කරලා සෞඛ්‍ය ඇමති අපිට තමන් කැමති බෙහෙත් පොවනවා.
පනත් කෙටුම්පතේ 18(2) වගන්තියේ මේ අධිකාරියට මුදල් ලැබෙන විදිය තිබෙනවා. ‘ඕනෑම පාර්ශවයකින් ලැබෙන ණය, පරිත්‍යාග, ත්‍යාග සහ ප්‍රතිපාදන’ වලින් අරමුදල පෝෂණය කළ හැකි බව එහි සඳහන්. මෙවැනි අධිකාරියක් හදනවානම් එහි සමස්ත වියදම රාජ්‍ය අරමුදල් හරහා වැය කළ යුතු බව අපි කිව්වේ එහෙම නැතිනම් අරමුදල් සැපයීමේ මුවාවෙන් ඖෂධ සමාගම් මාෆියාව අධිකාරියට මැදිහත් වෙන්න ඉඩ තිබෙන නිසා. අන්තිමේදී වුනෙත් ඒක. 2016 අයවැයෙන් ඖෂධ නියාමන අධිකාරිය සඳහා මුදල් වෙන්කර නෑ. ඖෂධ සමාගම් වල මුදලින් යැපෙන අධිකාරියක් ඒ සමාගම් වල නිෂ්පාදිත ඖෂධ වල ගුණාත්මක බව ගැන තීරණ දෙද්දී ඒක හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මතු වෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් ආසන්න වසර 5ක් තුළ ඖෂධ සමාගමක සේවය කර නැති අය විය යුතු බවට වගන්තියක් පනතට ඇතුල් කරන ලෙස කීවත් ආණ්ඩුව එය ඇතුල් කලෙත් නෑ. ඒ නිසා ඖෂධ සමාගම් වල වැටුප් ලබන ඒජන්තයන් මේ අධිකාරියට රිංගන්න පුළුවන්. අපි අනාගතය වෙනුවෙන් ඒ අවදානමත් සටහන් කර තියන්නම්.
කොහොම වුනත් වඳින්න ගිය දේවාලේ හිස මත කඩා වැටුනා වගේ ඖෂධ වල ගුණාත්මක බව පාලනය කරන්න හදපු අධිකාරිය ඖෂධ ජාවාරම් කාරයන්ගේ ගොදුරක් බවට පත් කරමින් තිබෙන බව පැහැදිලියි. මොන අධිකාරී තිබුනත් අන්තිමේදී අපට බොන්න වෙන්නේ සෞඛ්‍ය ඇමති නිර්දේශ කරන බෙහෙත් බවත් පැහැදිලියි. ඒවා අනුමත නොකරන අයව ඇමති විසින් ගෙදර යවන බවත් පැහැදිලියි. මේ පනතට පක්ෂව ඡන්දය දුන් ඊනියා විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමල ජාතික සන්ධානයේ අයට දැන් බොරුවට ආණ්ඩුවට බැනලා නිදහස් වෙන්න දෙන්නත් බෑ. ඒ හැම දෙනාම ජනතාවට වගකිව යුතුයි. අල්ලස්-වංචා-දූෂණ නතර කරන බව පොරොන්දු වෙලා බලයට ආව මේ ආණ්ඩුව වහාම ජනතාවට මේ ගැන උත්තර බැඳිය යුතුයි. ජනතාව නිහඬව බලා නොසිට අඩුම ගානේ බාල බෙහෙත් වලින් මැරෙන එක නවත්වාගන්න හෝ සටන් වැදිය යුතුයි.

