එට්කා සටන හරිද?

Ranil-&-Modi

එට්කා හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව සටන ඉදිරියට ඇදී යනවා. ඉංජිනේරු, වෛද්‍ය ඇතුළු වෘත්තීන් ගණනාවක වෘත්තීය සමිති 11වැනිදා පැවැත්වූ ඒකාබද්ධ උද්ඝෝෂණය මෙහි තීරණාත්මක පියවරක් සනිටුහන් කළා. මේ ගිවිසුමෙන් වෙන දේ ගැන තව දුරටත් පුළුල්ව කතා කිරීම අවශ්‍ය නැත්තේ අපි පසුගිය සතියේ ඒ පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් පල කළ නිසා. නමුත් මේ සටන් වල දිශානතිය ගැන තව දුරටත් කතා බහක් අවශ්‍යයි. ඒ සඳහා අපි පසුගිය සතියෙත් කතා කළ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳව කතා නැවත කරමු.

පසුගිය කාලයේ තිබුණු ආණ්ඩු හැම එකක්ම වගේම මේ ආණ්ඩුවේත් ආර්ථික උපාය මාර්ගය ලංකාවේ භෞතික සම්පත් සහ මානව සම්පත් කළමනාකරණය කර ලෝක ආර්ථිකය සමගත් සම්බන්ධ කරන ලද ආර්ථික සැලැස්මක් නෙවෙයි. ආර්ථිකයේ එකම ගැලවුම්කරුවා ලෙස නම් කරන්නේ විදේශ ආයෝජන කැඳවා ගැනීම. එක අතකට මේක අලුත් දේකුත් නෙවෙයි. දශක හතරක විතර කාලයක් තිස්සේ කියන්නේ ඔය කතාවමයි. ජේ.ආර්. ගේ කාලයේදී විදේශ ආයෝජන එන්නේ නැත්තේ ලංකාවේ බලශක්තිය ප්‍රමාණවත් නැති නිසා කියලා හිතුවා. ඒ නිසා ආයෝජකයන් ආවාම පොලියත් එක්ක ගෙවනවා කියලා හිතලා ණය අරන් මහා පරිමාන විදුලි බලාගාර හැදීමේ ව්‍යාපෘති කඩිනම් ව්‍යාපෘති ලෙස ක්‍රියාවට නැංවුවා. ආයෝජකයන්ට තමන් කැමති විදියට සූරා කන්න ඉඩ දීලා ලංකාවේ සාමාන්‍ය කම්කරු නීති අදාළ නැති විශේෂ කලාප ‘නිදහස් වෙළඳ කලාප’ නමින් ආරම්භ කළා. ඒත් ආයෝජකයෝ ආවේ නෑ. ඒ නිසා අර ගත්ත ණය බේරන්නත් බැරිවුනා. ඒවා පැටව් ගහලා ගොඩ ගැහිලා. චන්ද්‍රිකා හිතුවේ රාජ්‍ය ව්‍යවසායන් විකිනුවොත් ඒවා ගන්න ආයෝජකයෝ එයි කියලා. වානේ සංස්ථාව, පුත්තලම සිමෙන්ති කම්හල, ටෙලිකොම් ආයතනය වගේ රාජ්‍ය ආයතන අසූ ගණනක් විකිණුවා. ඒත් ආයෝජකයෝ ආවේ නෑ. ආවේ සතයක්වත් නැතිව ලංකාවට ඇවිත් බැංකු වලින් ණය අරගෙන රාජ්‍ය ආයතන මිලදී ගන්න අන්තිමේදී බැංකු වලට පොලු තියලා අර ආයතනත් වනසලා පැනලා යන හොර තක්කඩි. මහින්ද රාජපක්ෂ උත්සාහ කළේ ගුවන් තොටුපල, වරාය, අධිවේගී මාර්ග ඇතුළු ප්‍රවාහන යටිතල පහසුකම් ගොඩ නගලා ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න. ඒක කරන්න මහා පරිමාණව ණය ගත්තා. අන්තිමේදී ආයෝජකයෝ ආවෙත් නෑ, ණයත් ගොඩ ගැහුනා. කර්මාන්ත වලට ආයෝජනය කරන අය වෙනුවට වෙළඳාමට ආයෝජනය කරන අය ගෙන්වා ගන්න ‘ලංකාව වාණිජ කේන්ද්‍රස්ථානයක් කිරීම’ නමින් ආරම්භ කළ ව්‍යාපෘතියට විශාල ජනතා විරෝධයක් ගොඩ නැගුනා. සේවා සපයන ආයෝජකයන් ගෙන්වීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදිය පුද්ගලීකරණය කරන සැලැස්මත් විරෝධතා නිසා සාර්ථක කර ගන්න බැරි වුනා. මේ හැම දෙයක්ම කළ පසුත් 1977දී ඩොලර් බිලියන 1.2ක් වූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2013 වනවිට තිබුනේ ඩොලර් බිලියන 1.3ක සොච්චම් වැඩිවීමක් වාර්තා කරමින්. මේ මුළු කාලය පුරාම සෘජු විදේශ ආයෝජන තිබුනේ දල දේශීය නිෂ්පාදිතයෙන් 0.1%ක මට්ටමේ. වැඩිම අගය වන 0.17% 2008දීත් අඩුම අගය වන 0.05% 2009දීත් වාර්තා වුනා. විදේශ ආයෝජකයන් ගැන තැබූ විශ්වාසය බිඳ වැටීමේ ඉතිහාසය එහෙමයි. ඒත් තවමත් මේ හැම ආණ්ඩුවේම ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම.

මේ විදියට ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න වත්මන් ආණ්ඩුව වෙන විදියක් හිතලා තිබෙනවා. ඒ තමයි ආයෝජකයන් වෙනුවෙන් ලංකාවේ ජනතාවත් පරිසරයත් බිලිදීම. කලින් දුන් බිලි එකක්වත් හරි ගියේ නැති නිසා අන්තිමේදී තුන් කුළුඳුල් මිනිස් බිල්ලක් දෙන්න තීරණය කරලා. ලංකාවට නෑවිත් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ආයෝජකයෝ යන්නේ ඒ රටවල තමන් කැමති ලෙස සූරාකෑමේ අවස්ථා තිබෙන නිසා. ඒ රටවල කම්කරු නීති සාපේක්ෂව දුර්වලයි. ඒ නිසා කම්කරුවන්ගේ කිසිදු අයිතියක් නොදී සත්තුන්ගෙන් වගේ වැඩ අරන් තමන්ගේ ලාභ ගිණුම් තර කර ගන්න ජාවාරම්කාරයන්ට පුළුවන්. ඒ වගේම ඒ රටවල පරිසර නීති දුර්වල නිසා තමන්ගේ ලාභ වැඩිකර ගැනීම වෙනුවෙන් පරිසරය හිතේ හැටියට වනසන්න ජාවාරම්කාරයන්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ රටවල වැටුප් මට්ටම් ලංකාවට සාපේක්ෂව අඩු නිසා ලාබෙට ශ්‍රමය කොල්ල කන්න පුළුවන්. ආයෝජකයෝ යන්නේ වැඩි ලාභ සොයාගෙන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හිතනවා වගේ රනිල් ඇමෙරිකාව එක්ක යාලුයි කියලා ආයෝජකයෝ එන්නේ නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියනවා වගේ පාරවල් හදලා බදු සහන දුන්නාට ආයෝජකයෝ එන්නෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ කියනවා වගේ හොරකම් නොකරන හොඳ ළමයි ඉන්නවා කියලා පෙන්නුවාට ආයෝජකයෝ එන්නෙත් නෑ. ආයෝජකයෝ ආකර්ෂණය කර ගන්න වෙන්නේ ඔවුන්ට වැඩි ලාභ ලැබෙන බව සහතික කරලා. ඕන තරම් සූරා කන්න බාධා කරන්නේ නෑ කියලා සහතික වෙලා. ඒ නිසා ආර්ථික උපාය මාර්ගය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම නම් කම්කරු නීති කප්පාදු කරන්න වෙනවා, පරිසර දුෂණයට ඉඩ දෙන්න වෙනවා, ශ්‍රමයේ මිල පහත දමන්න වෙනවා. දැන් කරන්න යන්නේ ඒක. කම්කරු පනත් 17ක් සඳහා සංශෝධන යෝජනා කරන්නේ ඒකට. මධ්‍යම පරිසර අධිකාරිය පඹයෙක් කරලා පරිසර යෝග්‍යතා සහතික ලබා දීමේ ක්‍රමය විහිළුවක් බවට පත් කරන්නේ එහි කොටසක් විදියට. දැන් කරන්න තියෙන්නේ ශ්‍රමයේ මිල පහත හෙලන්න, සාමාන්‍ය වැටුප් මට්ටම් පහත හෙලන්න. ඉට්කා ගිවිසුම අත්සන් කිරීමේ අරමුණ ඒක.

මේ සැලැස්ම ක්‍රියාවට නංවන්නේ ලංකාවට වඩා ලාභ ශ්‍රමය තිබෙන රටක ශ්‍රමිකයන්ට ලංකාවේ ශ්‍රම වෙළඳපල විවෘත කිරීම හරහා. දැන් ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාව. මොකද රටක සමස්ත ශ්‍රම වටිනාකම් පහත හෙලන්න නම් කීප දෙනෙක් ඇවිල්ලා වැඩක් නෑ, විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් එන්න ඕන. ඒකට සුදුසුම ඉන්දියාව කියලා ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්දියාවේ ජනගහනය ලංකාවේ වගේ 60 ගුණයක්. ලංකාවේ රැකියා විරහිතයන් වගේ දස ගුණයක් ඉන්දියාවේ රැකියා විරහිතයන් ඉන්නවා. ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 35ක්. ලංකාවේ සමස්ත ජනගහනයම මිලියන 20යි. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මේ ව්‍යාපෘතියට ඉන්දියාවම තෝරා ගත්තේ ඇයි කියලා. නමුත් ඉන්දියාවේ ශ්‍රමිකයන් ලංකාවට ආවම ශ්‍රමයේ මිල පහත වැටෙන්නේ කොහොමද? අපි හිතමු ලංකාවේ ඉංජිනේරුවෙක් තමන්ගේ මූලික වැටුප විදියට රුපියල් 80,000ක් ඉල්ලනවා කියලා. ඉන්දියාවෙන් එන ඉංජිනේරුවා ඉල්ලන්නේ 50,000ක් විතරයි කියලා. එතකොට රැකියා පුරප්පාඩුවක් ආවම ඒකට රුපියල් 80,000ක් ඉල්ලන කිහිප දෙනෙකුයි රුපියල් 50,000ක් ඉල්ලන කිහිප දෙනෙකුයි ඉන්නවා. රැකියාව ලැබෙන්නේ අඩුම වැටුප ඉල්ලපු කෙනාට. සමහර විට 80,000ක් ඉල්ලන ඉල්ලුම්කරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් 50,000 ඉල්ලන ඉල්ලුම්කරුවන් ඉන්නත් පුළුවන්. ඒ ඉන්දියාව ලංකාවට වඩා රැකියා විරහිතයන් වැඩි රටක් නිසා. ඒ නිසා රැකියාවක් ගන්නනම් ලංකාවේ ඉංජිනේරුවාට තමන් ඉල්ලන වැටුප 50,000ට වඩා අඩු කරන්න වෙනවා. ඒ ප්‍රශ්නය එන්නේ ඉංජිනේරුවාට පමණක් නෙවෙයි. ඉංජිනේරුවාට 50,000ක් දීලා තාක්ෂණ නිලධාරියාට 55,000ක් දෙන්න බෑනේ. ඒකත් අඩුවෙනවා. වැඩ පාලකට, මේසන් බාස්ට සහ වඩු බාස්ට වගේම අත් උදව් දෙන නුපුහුණු ශ්‍රමිකයාටත් තමන්ගේ වැටුප අඩු කර ගන්න වෙනවා. මේක ඉංජිනේරු ක්ෂේත්‍රයට සීමා වෙන්නේ නෑ. එක ක්ෂේත්‍රයක වැටුප් ආදායම් පහත වැටෙන විට ඔවුන් ලබා ගන්නා සේවා වල මිලත් පහත වට්ටන්න වෙනවා. ඒ නිසා තවත් ක්ෂේත්‍ර ගණනාවක වැටුප් පහත වැටෙනවා. ඒ නිසා ඉන්දියාවට ඉංජිනේරු වෘත්තීය විතරක් විවෘත කළත් සමස්ත ශ්‍රමයේ මිල පහත වැටෙනවා. ඉට්කා ගිවිසුමෙන් ක්ෂේත්‍ර කිහිපයක් සහ එකම ක්ෂේත්‍රයේ වෘත්තීන් ගණනාවක් විවෘත කරන නිසා මේ ක්‍රියාවලිය වේගයෙන් සිදු වෙනවා. ඒක තමයි ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය.

ඒ නිසා ඉට්කා වලින් වෙන හානිය ආණ්ඩුව දන්නේ නැතිව ඇති, සාකච්ඡා අරන් ආණ්ඩුව දැනුවත් කරමු කියලා සමහර වෘත්තීය සමිති කියන දේ තේරුමක්ම නෑ. වෙන දේ ආණ්ඩුව හොඳින්ම දන්නවා. ඒක කර ගන්න තමයි ආණ්ඩුවටත් ඕන. සමහර සමිති කියන්නේ ඉන්දියාව බලහත්කාරෙන් ලංකාවේ පාලකයන්ගේ අත අඹරවලා මේක අත්සන් කරන්නේ කියලා. ඉන්දියාවේ බලහත්කාරයකුත් තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ තීරණය ගන්නේ ඒකට බයවෙලා නෙවෙයි. මේක ආණ්ඩුවේ ප්‍රධාන උපායමාර්ගය. ආණ්ඩුවට ආර්ථිකය ගැන ජාතික ප්‍රතිපත්තියක් නෑ, එහෙම ප්‍රතිපත්තියක් හදනවානම් මේ ගිවිසුම අත්සන් කළාට කමක් නෑ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළවත් ඔවුන් ඉන්නේ ප්‍රමිතිය හොඳනම් අධ්‍යාපනය පුද්ගලීකරණය කළාට කමක් නෑ කියන ස්ථාවරයේ. මේකත් ඒ වගේ. ආණ්ඩුවට ආර්ථිකය ගැන ජාතික ප්‍රතිපත්තියක් නෑ කියන එක වැරදියි. වසර 38ක් තිස්සේ ආණ්ඩු මාරු වුනාට, මුල් පුටුවල මූණු මාරු වුනාට වෙනස් වෙන්නේ නැති ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ තමයි නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තිය. ගෝලීය ප්‍රාග්ධනයේ කෙලි බිමක් බවට ලංකාව පත් කරනවා කියන එක තමයි ජාතික ආර්ථික ප්‍රතිපත්තිය. ඉට්කා එන්නෙත් ඒ ප්‍රතිපත්තියට අනුව. ඒ නිසා ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලලා සටන් කරනවා වෙනුවට මේ ජනතා විරෝධී, විනාශකාරී ප්‍රතිපත්තිය පරාජය කරන තැනකට අරගලය දිශානතිගත කළ යුතුයි. ඒ වගේම අරගලයේ තවත් බොරු වලවල් තිබෙනවා. මේ විරෝධය ඉන්දියාවේ රැකියා විරහිත පීඩිතයාට එරෙහිව පෙළ ගස්වන්න හදන ජාතිකවාදීන් කරන්නේ පාලකයන්ගේ විනාශකාරී ප්‍රතිපත්තිය නිදොස් කර නිදහස් කිරීම. ප්‍රශ්නය මේ ආර්ථික ප්‍රතිපත්තිය මිස ඉන්දියාවේ වැඩකරන ජනතාව නෙවෙයි. ඇත්තටම කළ යුත්තේ ජාතිකවාදීන් කරන යෝජනාවේ අනෙක් පැත්ත. කලාපීය වශයෙන් මේ ප්‍රතිපත්තියට එරෙහිවත් ඉන්දියානු පාලකයන්ගේ බලහත්කාරයට එරෙහිවත් ඉන්දියාවේ සහ ලංකාවේ වැඩකරන ජනතාව ඒකාබද්ධ අරගලයකට පිවිසිය යුතුයි. සතුරු වෙනවා වෙනුවට සමගි විය යුතුයි. ඉට්කා ගිවිසුමට එරෙහි අරගලයට සුභ පතන අතර මේ බොරු වලවල් ගැනත් අනතුරු ඇඟවීම අපේ වගකීමක් කියලා අපි හිතනවා.