කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලය දිගු කිරීම සදහා අදාල අයදුම්පතක් ලැබුණු නමුත් වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් ලැබුණු ලිපියක් හේතුවෙන් අදාල අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව අද දින කුමාර් ගුණරත්නම්ගේ නඩුවට සාක්ෂි ලබාදෙමින් ආගමන විගමන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම්ට අදාල නඩු විභාගය අද (23) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවුණු අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ රාජ්‍ය බුද්ධි අංශ තෙරතුරු අනුව කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බැවින් එක් දිනකින් හෝ ඔහුගේ වීසා දිගු නොකරන ලෙසත්, ඔහුගේ වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසත් දන්වමින් වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බවත්, අදාල ලිපියට අනුව කුමාර් ගුණරත්නම්ගේ වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කළ බවත්ය.
එමෙන්ම කෑගල්ල පොලිසියෙන් සාක්ෂි විමසීමේදී පොලිසිය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ‘බී‘ වාර්තාවේ දක්වා ඇති තොරතුරු හා අද දින පොලිසිය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ සාක්ෂි පරස්පර බව පොලිසිය විසින් පිළිගත්තේය. ‘බී‘ වාර්තාව ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ තමන් කුමාර් ගුණරත්නම්ව ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් බවයි. නමුත් අද දින සාක්ෂි ලබා දෙමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ අදාල නිවසේදී හමුවූ පුද්ගලයාගෙන් අනන්‍යතාවය විමසූ අවස්ථාවේදී ඔහු නම් දෙකක් ප්‍රකාශ කළ බවත්, එය සැකසහිත වූ බැවින් ඔහු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනයෙන් ඔහු කුමාර් ගුණරත්නම් බව හෙළි වූ බවත්ය.
මෙහිදී හරස් ප්‍රශ්න ඉදිරිපත් කරමින් කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පොලිසියෙන් විමසුවේ ‘බී‘ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත්තේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ කරුණු නොවන බවයි. ඒ අවස්ථාවේදී ‘බී‘ වාර්තාවේ කරුණු සාක්ෂි පරස්පර බව පොලිසිය විසින් අධිකරණයේදී පිළිගත්තේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගෙඩ පැවසුවේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම, ඔහුට වීසා ලබා නොදීම, ඔහුගේ පුරවැසිභාවය ලබා නොදීම යන කරුණු සියල්ල නීති තත්වයන්ට එපිටින් තිබෙන දේශපාලන කාරණා අනුව සිදුවූ දේවල් බව පැහැදිළි වුණු බවයි.
අවසානයේදී නඩුව මාර්තු පළවෙනිදා දක්වා නැවත කල් තැබුණි.