වෛද්‍ය උපාධි මුදලට අලෙවි කරන මාලඹේ සයිටම් ආයතන අර්බුදය විසඳීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ යෝජනා ජනාධිපතිවරයා වෙත අද ලිඛිතව භාර දදුන් බව එම සංවිධානයේ කැදවුම්කරු ළහිරු වීරසේකර පවසයි.
මාළඹේ සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදුකරන්නට අපේක්ෂා කරන මැදිහත්වීමේදී තම යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක් අද දින (16) දහවල් 1.002ට ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී. එහිදී මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු විසදුම් යෝජනා ඇතුළත් ලිපියක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයාට භාරදෙන ලදී.
එම ලිපියේ මෙසේ සදහන් වේ.
“මාළඹේ ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙම අන්ත දූෂිත වංචනික සක්විති පන්නයේ ජාවාරම්කාරී ව්‍යාපාරයක් වශයෙන් අදුනාගත හැකි මෙම ආයතනය සම්බන්ධව මතුවී ඇති ගැටඑව විසඳීම සඳහා අපගේ ස්ථාවරය හා යෝජනා ඔබතුමාට හා රජයට දැනුම්දීම මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වෙමු.
අපි මෙම හොර උපාධි කඩයට ආරම්භයේ පටන්ම අපගේ විරෝධය පලකොට ඇත්තෙමු. ඒ ප්‍රධාන කාරණා දෙකක් මත පදනම් වෙමිනි. මේ හරහා රටේ පොදු ජනතාවගේ අධ්‍යාපනය ලැබීමේ අයිතියට සිදුවන බලපෑම පලමු කාරණයයි. අධ්‍යාපනය යනු සමාජ අයිතියකි. එම අයිතිය ජාති, කුල, ආගම් ලිංග හෝ පංති යන කිසිදු බේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම හිමිවිය යුත්තකි. එම අයිතිය තහවුරු වීමට නම් පුද්ගලයෙකුට උපතේ දී හිමිවන තත්ත්වයන් නොසලකා ඔහුට හෝ ඇයට සිය අනාගතය පිළිබඳ තීරණ ගැනීම සඳහා හිමි වටපිටාවක්, එනම් තමන් කැමති විෂය ධාරාවක් තුළ තමන් කැමති භාෂාවකින් තමන් අපේක්ෂා කරන දුරකට ඉගෙනීමේ තත්ත්වයක් පැවතිය යුතුය. එහිදී සැලකිය යුත්තේ ශිෂ්‍යයාගේ අධ්‍යාපනයට ඇති රුචිකත්වය හා ඔහුතුළ වන කායික මානසික විභවතාවයන් මිස ඔහුගේ වාර්ගිකල ආගමිකල ලිංගික හෝ පංතිමය අනන්‍යතාවයන් නොවේ.
නමුත් මෙවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා සිදුවන්නේ මෙම අධ්‍යාපනය ලැබීමට ඇති සමාජමය අයිතිය අහිමිවී මුදල් ගෙවීමේ හැකියාවක් සහිත ඉතා සුඑ පිරිසකගේ වරප්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්වීමයි. මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයේ අයකරනු ලබන මිලගණන් දෙස බැලීමේ දී එම තත්ත්වය මැනවින් විද්‍යමාන වේ. ලක්ෂ 120 ක් ගෙවා වෛද්‍ය උපාධිය ලබාගත හැක්කේ ජනගහණයෙන් ඉතා සුඑපිරිසකට පමණක් වන අතර උසස් පෙළ සමත් ඉහළ සුදුසුකම් සහිත දහස් ගණනක් සිටියදී උසස් පෙළ අසමත් සිසුන් මෙම පීඨයේ වෛද්‍යවරුන් වීමට ඉගෙනුම ලැබීම තුළ අධ්‍යාපනය මුදල් ගෙවිය හැකි අතලොස්සකගේ වරප්‍රසාදයක් වීමේ තත්ත්වය තේරුම්ගත හැකිය. ඒ අනුව අධ්‍යාපනය සමාජ අයිතියක සිට කිසියම් පැලැන්තියක වරප්‍රසාදයක් බවට පහතහෙළීම මෙවැනි විශ්වවිද්‍යාලවලින් සිදුවන අතර එය මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහි අපගේ විරෝධයේ මූලික පදනමයි.
එසේම මෙම ආයතනයේ ප්‍රමිතිය පිළිබඳවද සමාජය තුළ ඉතාමත් බරපතල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පෙන්වා දී ඇති පරිදි මෙම ආයතනය වෛද්‍ය උපාධි ප්‍රධානය සඳහා සුදුසු ප්‍රමිතිගත ආයතනයක් නොවේ. ප්‍රමිතිය පසුව සැපිරීමේ කොන්දේසිය මත පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මෙම ආයතනය පිළිගැනීම සඳහා එස්. බී. දිසානායක අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් චක්‍රලේඛ නිකුත් කර ඇතත් මෙම ආයතනය තවමත් එම කොන්දේසි සපුරා නැත. එය මෙම ආයතනයට පමණක් සුවිශේෂී තත්ත්වයක් නොවන අතර ලාභය මූලික අරමුණකරගත් ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධව සැලකීමේ දී දැකිය හැකි පොදු ලක්ෂණයකි. කුමන පොරොන්දු දුන්නද කෙබඳු මවාපෑම් කළද ලාභ මුල්කොටගත් කිසිම විටකදී ප්‍රමිතීන් ආරක්ෂා කළ නොහැකිය. එය වෙළඳපොළේ ඇති සෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන්ම පිළිගැනීමට සිදුවන තත්ත්වයක් වන අතර ලාභ අරමුණුකරගත් අනෙකුත් සෑම ව්‍යාපාරයකදීම ප්‍රමිතීන් අහිමි තත්ත්වයක් තුළ ලාභ අරමුණුකරගත් විශ්වවිද්‍යාලවලදී පමණක් ප්‍රමිතිය ආරක්ෂා වේ යැයි සිතීම මුලාවකි. ඒ අනුව මෙම ආයතනය කොහෙත්ම ප්‍රමිති ගත ආයතනයක් නොවනු ඇති අතර මෙය වසා දැමීම සිදු නොකළ හොත් ඩෙංගු රෝගයට ගොදුරුව මෙම නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ කවීෂට, එමෙන්ම ගර්භාෂ සැත්කමක් සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගිය ඉරේෂාට සිය ජීවිතවලින් වන්දිගෙවීමට සිදුවූවා සේ අනාගතයේදී තවත් ජීවිත සිය දහස්ගණනකගේද ඉරණම විසෙඳනු ඇත. ඒ අනුව මෙසේ මෙම ආයතනයෙන් හා ඉන් බිහිවන වෛද්‍යවරුන්ගෙන් රටේ නිදහස් සෞඛ්‍යයට සිදුවන හානිය අප මෙයට විරුද්ධවීමට බලපාන දෙවැනි කාරණයයි.
එසේම මෙම ආයතනය මුල සිටම විවිධ බොරු ප්‍රචාර හරහා සමාජය රවටමින් සිසුන් බඳවාගැනීමට කටයුතු කර ඇති අතර ඊට එරෙහිව අසාධාරණයට ලක්වූ දෙමාපියන් විසින් ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වී ඇත. South Asian Institute of Technology and Management නමින් ලියාපදිංචි කර වෛද්‍ය පීඨයක් වශයෙන් ලියාපදිංචිය සිදු නොකළ නමකින් වෛද්‍යපීඨයක් ආරම්භ කිරීම, මෙම වෛද්‍ය පීඨය රුසියාවේ නිස්නිනොව්ගොරොද් නමැති විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් යැයි කියමින් ව්‍යාජ වෙළඳ දැන්වීම් පළකිරීම, ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවල අනුමැතිය මෙම පීඨයට ඇතැයි ඇගවෙන දැන්වීම් පළකරමින් ජනතාව නොමග යැවීම හා වෛද්‍ය සභාවේ නාමය අයථා ලෙස භාවිතා කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතැයි පවසමින් උසාවියේදී පවා බොරු ප්‍රකාශ ලබාදීම, සිසුන්ගේ දෙමාපියන්, මෙම ආයතනයට සුභ පතන්නන් හා මෙම ආයතනය වෙනුවෙන් පෙනී සිටින හා එහි සේවය කරන, එසේම මෙම ආයතනයට පක්ෂපාතී හා ආයතනය තුළ ප්‍රමිතියක් ඇතැයි කියමින් දැනටමත් පෙනී සිටින පුද්ගලයන්ගෙන් සමන්විත ඉතාමත් පක්ෂපාතී විභාග පරීක්ෂක මණ්ඩලයක් හරහා වංචනික හා සදාචාර විරෝධී විභාග පැවැත්වීම ආදිය මෙම ආයතනය කොතරම් වංචනිකව කටයුතු කර ඇත්ද යන්න පිළිබඳව පෙන්වාදෙන නිදසුන් කිහිපයක් පමණි. වෛද්‍ය වෘත්තිය යනු රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධව තීරණය කරනු ලබන වෘත්තියක් වන අතර මෙවැනි වංචනික ප්‍රවේශයන් හරහා වෛද්‍යවරු බිහිවීමෙන් සිද්ධවිය හැකි හානිය සුඑ පටු නොවේ. එසේම ඝාතනයක් යැයි සැකකරනු ලබන වසීම් තාජුඩීන්ගේ අතුරුදහන් වූ අස්ථි කොටස් මෙම ආයතනය තුළින් හමුවීම මගින්ද මෙවැනි ආයතන රටේ පැවත්මට කොයිතරම් තර්ජනයක්ද යන්න තේරුම් කරගැනීම අපහසු නොවේ.
ඒ අනුව මෙම මාළඹේ සයිටම් හොර උපාධි කඩය වසා දැමීම අපගේ ස්ථාවරය වන අතර ඒ වටා විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරිකයින් මෙන්ම සාතිශය බහුතරයක් පොදුජනතාවගේ හඩ එක්ව ඇත. දැනටමත් මෙම ඉල්ලීම සිදුකරමින් වෛද්‍ය පීඨ සිසුන් දින 365 කටත් වැඩි කාලයක් තිස්සේ වශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යග්‍රහයක සිටිති. එසේම ප්‍රශ්නය විසඳන තුරු සියලූ වෛද්‍ය පීඨ සිසුන් මේ වන විට පංති වර්ජනය කරමින් ඇත. එසේම මුඑමහත් සමාජයම ඉතාමත් අවධානයෙන් යුතුව ආණ්ඩුව දෙනුලබන තීරණය දෙස බලා සිටියිි. ඔබතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වූයේ අධ්‍යාපනය සෞඛ්‍ය කප්පාදු කරන බවට පොරොන්දු දී නොව ඒවා ආරක්ෂාකරන බවට පොරොන්දු දෙමින් බවද අප කිසිවකුටත් තවමත් අමතක නැත. අප මීට පෙර අවස්ථාවකදීත් අපගේ යෝජනා ඔබතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානයට යොමුකර ඇත්තෙමු. එහෙත් මේ සම්බන්ධයෙන් දක්වන නිහඩ පිළිවෙත හා රජයක් වශයෙන් රටට ජනතාවට විශාලා හානියක් සිදුවන මෙැවනි ආයතනයක් ආරක්ෂාකිරීම වෙනුවෙන් පෙනී සිටීම ඉතාමත් කණගාටුවට කරුණකි. එසේම ජනගහනයෙන් 2%කටත් වඩා අඩු ඉතාමත් සීමිත අතලොස්සකගේ ලාභය වෙනුවෙන් අධ්‍යාපනය විකිණීම යනු 98%ක් පොදු ජනතාවගේ අධ්‍යාපන අයිතිය කොල්ලකෑමට දායක වීමකි. ඒ නිසා ජනතාවගේ ඉතාමත් සාධාරණ ඉල්ලීම්වලට කන්දෙමින් මෙම ප්‍රශ්නය විඳීම සඳහා මැදිහත්වන මෙන් අපි කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙනයන අරගලය අවසන් කිරීම සඳහා අප සෑහීමකට පත්වනුයේ විසඳුම් දෙකකදී පමණි. ඒවා පහත පරිදි වේ.
-
මෙම විශ්වවිද්‍යාලය මුලූමනින්ම වසා දැමීම එක් විසඳුමකි. එහිදී දැනට මෙම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් අයකරගත් සියලූ මුදල් ඔවුන්ට ලබාදීමට කටයුතු කළ යුතු අතර එම ආයතනයේ හිමිකරුවන් විසින් එම ගෙවීම් පැහැර හරිනු ලබන්නේනම් එහි ඇති දේපළ වෙන්දේසිකොට හෝ එම මුදල් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.
-
දෙවන විසදුම රජයට පවරා ගැනීමයි. නමුත් මෙසේ රජයට පවරාගන්නේ නම් එය අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ රාජ්‍ය හිමිකාරීත්වය සහිත අධ්‍යාපනය විකුණන ව්‍යාපාරයක් නොවිය යුතුය. එසේම එය කොතලාවල පන්නයේ රජය මැදිහත්වී උපාධි විකුණන කඩයක් බවට පත්කිරීමද අප අපේක්ෂා නොකරන අතර 80 දශකයේදී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නයේදී සිදුකළ ආකාරයට රාගම වෛද්‍ය පීඨයට ලබාදුන් ආකාරයේ උසස් පෙළින් ලබාගත් ලකුණු මට්ටම් මත සිසුන් බඳවා ගන්නා නොමිළේ උපාධි ප්‍රදානය කරණ ආයතනයක් බවට පත්කිරීම මින් අදහස් වේ.
මෙහිදීද සිසුන්ගෙන් අයකරනු ලැබූ සියලූ මුදල් ඔවුන්ට ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුය. එසේම මෙය නොමිලේ උපාධි ප්‍රදානය කරණ ආයතනයක් බවට පත්කිරීමෙන් පසු වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ගෙන් හෝ වෙනත් පිළිගත් විද්වත් මණ්ඩලවයක් විසින් සකස් කළ කඩඉම් විභාගයක් හෝ වෙනත් පුලූල් විනිවිද භාවයක් සහිත පරීක්ෂණයක් හරහා සමත්වන්නේනම් පමණක් මෙහි සිටින සිසුන්ටද උපාධි ලබාදීම පිළිබඳව අපගේ විරෝධයක් නොමැත. නමුත් එහි පදනම විය යුත්තේ වෛද්‍ය උපාධියක් ලැබීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇද්ද යන්න මිස අයකරණ ගාස්තු ගෙවිය හැකිද යන්න නොවේ.
-
තෙවනුව ආණ්ඩුවේ අරමුණ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුඑල් කිරීම සඳහා හැකි උපරිම පිරිසකට වෛද්‍ය අධ්‍යාපනයේ දොරටු විවෘත කිරීම නම් ඒ සඳහා ඇති විසඳුම වන්නේ වෛද්‍ය අධ්‍යාපනය හා රෝගී ජීවිත අනතුරේ හෙළන මෙවැනි උපාධි කඩ දැමීම නොව, දැනටමත් යෝජනාවී ඇති වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව කුලියාපිටියේ හා සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රත්නපුරේ ආරම්භ කිරීමට නියමිතව ඇති වෛද්‍ය පීඨ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගැනීමයි. එසේම රාජ්‍ය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ පුඑල් කිරීම තුළ ද තවත් විශාල පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමේ අවවස්ථාව නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍ය බිලිදීමෙන් තොරව සිදුකළ හැකිය.
සයිටම් ගැටඑව විසඳීම පිළිබඳ අපගේ ස්ථාවරය මෙය වන අතර ජනසතු කිරීමේ නමින් හිමිකාරීකත්වය පමණක් රජයට පවරා ගනිමින් මුදලට උපාධිය විකුණන ක්‍රියාවලියකට හෝ අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කරණ යොජනාවට අපි එකග නොවෙමු. මන්දයත් ඉන් මෙකී විශ්වවිද්‍යාලය හරහා නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍ය සේවාවට සිද්ධ වන හානිය ඉන් වෙනස් නොවන බැවිනි. අවසාන වශයෙන් අප මෙකී කරුණු සළකා බලා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සදහාත් සෞඛ්‍ය සේවයේ සිදුවීමට නියමිත විනාශය වළක්වා ගැනීම සඳහාත් සයිටම් ආයතනය අහෝසි කිරීමට හෝ නොඑසේනම් පුර්ණ ජනසතු කිරීමක් සඳහා මැදිහත්වන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි
මෙයට
කැඳවුම්කරු, ලහිරු වීරසේකර “