தமிழ்
English
Contact
Saturday 14th October 2017    
ශිෂ්‍ය ව්‍යාපාරයේ අභියෝගය හා වගකීම « Lanka Views | Views of the truth

ශිෂ්‍ය ව්‍යාපාරයේ අභියෝගය හා වගකීම



ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසය පුරාම ප‍්‍රබල දේශපාලන සාධකයක් ලෙස කිසිවෙකුට බැහැර කළ නොහැක. නිදහස් අධ්‍යාපන පනත සම්මතවීමත් ස්වභාෂා පනත සවිමත් වීමත් සමග ශිෂ්‍ය සංයුතියේ සිදුවූ ගුණාත්මක වෙනස, ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික දේශපාලනයට නැඹුරු කරවීය. එහෙත් ඉතිහාසය පුරාම ධනපති හා සුළුධනපති දේශපාලන බලවේගවල බලපෑමට එය නිරතුරුව ලක්ව ඇත. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම කේන්ද්‍ර කර ගත් දේශපාලන අරගලයක නිරතවුණු සරසවි ශිෂ්‍යයා වරින් වර එහි දේශපාලන භුමිකාව ජාතික දේශපාලන කාරණා සමග ද සම්බන්ධ කරමින් විවිධ හැඩතල ඊට ලබා දුන් බව එහි ඉතිහාසය සාක්ෂි දරයි.

මේ මොහොත වන විටත් ශිෂ්‍ය ව්‍යාපාරය මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් උද්ඝෝෂණයක නියැලී සිටී. මේ වන විට වසරකට ආසන්න කාලයක් වෛද්‍ය සිසුන් විසින් පවත්වාගෙන යන සත්‍යග‍්‍රහය කි‍්‍රයාත්මක වී ඇත. මේ සා විශාල කාලයක් පවත්වාගෙන යන සත්‍යග‍්‍රහ මාලාවක් පිළිබඳ පළමු අත්දැකීම්ද මෙය විය යුතුය. කෙසේ වුවත් ආණ්ඩුවද සිය වැඩපිළිවෙළ එකවර පසුපසට නොතබමින් කි‍්‍රයාවට නැගීමට සුදානම් බව පෙන්වයි.

මේ සා විශාල බලයක් අධ්‍යාපනය විකිණීම සඳහා ආණ්ඩුව ලබා ගනිමින් සිටින්නේ කුමණ කරුණු පාදක කර ගනිමින්ද යන්න විමසා බැලීම අරගලයේ ඉදිරි වර්ධනයන්ට වැදගත් වනු ඇත. විශේෂයෙන් 1980 දශකයේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල හා විශ්වවිද්‍යාල යෝජනා වන සමය නව ලිබරල් ධනවාදයේ ආරම්භක කාලය ලෙස සැලකිය හැක. අද තරම් පළල් මැද පන්තියක් එදා මෙම යෝජනාවට සම්මාදම් වීමට සිටියේ නැත. එහෙත් අද වනවිට  නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස යැයි වචන හරඹයක් කරමින් මුදලට විකුණන අධ්‍යාපනය තවතවත් පුළුල් කිරීමට කැමැත්ත දක්වන සමාජ පැලැන්තියක් සිටී.

මැද පන්තියේ සමාන්‍ය විභේදනයක් ලෙස උගත් මැද පන්තිය හා ව්‍යාපාරික මැද පන්තිය සැලකිය හැක. ව්‍යාපාරික මැද පන්තිය සිය උසස් අධ්‍යාපනය හරිහැටි සපුරාගත නොහැකි වූවන්ට සිය දරුවා හරහා එම කඩඉම ලබා ගැනීමේ පිපාසාවෙන් ඇත. අනෙක් පැත්තෙන් උගත් මැද පන්තිය සිය උගත්කමින් ජය ගත් ලෝකයේ මීළඟ පියවර තැබීමට සිය දරුවන් සුදානම් කිරීමේ කැමැත්තෙන් සිටී. උදාහරණයක් ලෙස වෛද්‍යවරයකුට ඔහුගේ දරුවකු ෙවෙද්‍යවරයකු කිරීමේ සිහිනය සැළකිය හැක. මැද පන්තියේ වේවා, පහළ පන්තියේ වේවා දරුවන්ට ඉහළම ඉගෙනීමක් ලබාදීම සඳහා පියෙකුට මවකට ඇති වුවමනාව සාධාරණ එකකි. එහෙත් එම පෞද්ගලික අභිමතාර්ථයට සමාජමය සීමාවක් තිබිය හැක. මැද පන්තියට ඇති මේ සාමාන්‍ය මාපිය වුවමනාව ආණ්ඩුව විසින් යොදා ගනිමින් ඇත්තේ අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා වන දැවැන්ත ව්‍යාපෘතියකටය. කේවල ලෙස එක් දරුවෙකුට මුදල් දී හෝ ඉගෙන ගැනීමේ අයිතිය ලැබෙන විට සාතිශය බහුතරයකට අධ්‍යාපනයේ දොරටු වැසෙන සමාජ අසාධාරණයක් එහිදී සිදුවේ. ඉහත වැඩපිලිවෙළ මුළු මහත් මිනිස් සමාජය අවදානමට හෙළයි නම් ඒ පිළිබඳ සිතා බැලීම වරදක් නොවේ. එමෙන්ම පිරිසකගේ අධ්‍යාපනය සඳහා ඇති වුවමනාව ජයග‍්‍රහණය කරවීමට බහුතරයකට වන්දි ගෙවන්න සිදුවේ නම් නැවත එමගින් සමාජ අසාධාරණය ගමන් කරන දුර ගැනද බරපතළ ලෙස සිතිය යුතුය.

මෙම ප‍්‍රශ්නය මේ තරම් බරපතළ වීමට බලපාන අනෙක් කරුණ වන්නේ වමේ දේශපාලනය තුළ හා වමේ දේශපාලනයේ නාමයෙන් පෙනී සිටින කොටස් මේ සටන් පාඨය කෙරෙහි දක්වන වැනෙනසුලූ ස්වභාවයයි. ජනතා විමුක්ති පෙරමුණ ගෙවුණු වසර දෙක පුරාම මේ ප‍්‍රශ්න පිළිබඳ අනුගමනය කළේ කුහක පිළිවෙතකි. අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවට ගෙන ආ අධ්‍යාපන පෞද්ගලිකකරණ යෝජනාවන්ට ඔවුන් විසින් නිහඬව සහාය දෙන ලදී. (සාගර විශ්වවිද්‍යාලය පෞද්ගලිකකරණය කිරීමේ පනත, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ උපාධි විකිණීමේ පනත) අවසන් වතාවට පාර්ලිමේන්තුවට ආ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය නීතිගත කිරීමේ අධ්‍යාපන කාරක සභා අනු කමිටු වාර්තාවට ඔවුන් විරෝධය පළ කළද එම අනුකමිටුව පත්කර ඇත්තේ ජ.වි.පෙ.ද සහභාගිවන පාර්ලිමේන්තුවේ අධ්‍යාපන කාරක සභාව මගිනි.

ජනතා විමුක්ති පෙරමුණට මෙම දෙගිඩියාව ඉස්මතු වී ඇත්තේ මැද පන්තිය සමග ඔවුන්ට ඇති පයුරු පාසානම නිසා බව පැහැදිලිය. තවද වික‍්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් ඍජුව පෞද්ගලිකකරණ වේදිකාවට ගොඩවීම පවා සමාජය ඉදිරිපිටදී නිදහස් අධ්‍යාපන සටන් පාඨයට හිමි වූ සුජාතභාවය දුර්වල කරනු ලබයි. මේ සෑම සිදුවීමක් විසින්ම දේශපාලන තලයේදී මෙම සටන් පාඨය දුර්වල කර තිබේ. සරසවි සිසුන්ට උඩුගම්බලා පිහිනන්ට තිබෙන්නේ මෙම තතු යටතේය.

ආර්ථික තලයේ මැද පන්තියේ ප‍්‍රසාරණය වීමත් එම මැද පන්තියේ ප‍්‍රසාරණයට දේශපාලන ව්‍යාපාර හා වෘත්තීය සමිති පවා නතු වී සිටීමත් නිසා හඳුනාගත හැකි දේශපාලන වැනෙනසුළු ස්වභාවයත් අරගලයෙහි මුලික ප‍්‍රශ්න ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන් මේ සඳහා සහයෝගය අත්‍යවශයෙන් ලබාදිය යුතු වෛද්‍ය සංගම්වල උකටලීභාවයටද පදනම මෙය බව පැහැදිලිය. වෛද්‍ය සංගම්, බොහෝ ආචාර්ය සංගම්, සමහර වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අධ්‍යාපන පෞද්ගලිකකරණය, පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍යවිද්‍යාල යන ප‍්‍රශ්න පිළිබඳ සිය සාමාජිකත්වය තුළ බෙදීමක් පවතින බවය. එය අවිවාදිතය. එසේම එය පිළිගත යුතු සත්‍යයකි. නමුත් වෙනත්  ඕනෑම ප‍්‍රශ්නයකදී පවා මෙවැනි බෙදීම් නොපවතින්නේද?

එමෙන්ම ‘අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහෙනවා’ යනුවෙන් දැනට ඔවුන් අවතීර්ණ වී ඇති පදනම මත හෝ හිඳිමින් මීට වැඩි මැදිහත්වීමක් එම වෘත්තීය සමිති සිදු නොකරන්නේ මන්ද යන්න විමසා සිටිය යුතුය.

සරසවි සිසුන්ගේ පොදු දායකත්වයක් අරගලය තුළ පැවතියද එය තවත් අදියරයකින් ඔසවා තැබිය හැකි නම් එයද ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම කලක් තිස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය හා දුරස්ව තිබුණු යාපනය, නැගෙනහිර හා අග්නිදිග සරසවිද කොළඹ හා මොරටුව සරසවි ද ඉදිරියේදී නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ සටනට සම්බන්ධ කර ගත හැකි නම් එය ශිෂ්‍ය බලය තීව‍්‍ර කරනු ඇත. එය ආණ්ඩුවට ඉතා බලපෑම් සහගත කි‍්‍රයාවක් වනු ඇත.

එමෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය තුළින්ම මතුවන ගැටලූ කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. ඉදිරි කාලයෙදී නවක කණ්ඩායම් සරසවි තුළට ඒමට නියමිතය. පෞද්ගලික විශ්වවිiාල සටන් පාඨය පසෙකින් තබා නවක වදය පිළිබඳ වග උත්තර බැඳීමට ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවුනොත් එය ආණ්ඩුවේ වුවමනාව ඉටුවීමකි. මේ සඳහා නවකවදය පිළිබඳව දැඩි පිළිවෙතක සිට ශිෂ්‍ය නායකත්වය කටයුතු කල යුතුය. එසේ නොවුනහොත් ආණ්ඩුවට වාසි සහගත තත්වයක් විශ්වවිද්‍යාල තුළ ඇති විය හැකිය. එමෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය දුබල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය තුළම සිටි බොහෝ ප‍්‍රතිගාමී කොටස් යොදාගත් පීඨ බේදය, කණ්ඩායම් (බැච්) බේදය අවුළුවමින් ගැටුම් දක්වා ගමන් කිරීමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ පොදු ශක්තිය දුබල කිරීමත් ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකි උපක‍්‍රමයකි.

ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පවතින ‘දේශපාලනය එපා!’ යන්නද එහි ශක්තිය දුබල කරවන සටන් පාඨයක් බව කිව යුතුය. එමගින් ශිෂ්‍ය බලවේගය තමන්ගෙන් පරිබාහිර ප‍්‍රශ්නවලට මැදිහත්වීමේ අවශ්‍යතාව හා වගකීම අතහැර දමයි. (උදාහරණයකට පෝට් සිටි ප‍්‍රශ්නය, හම්බන්තොට වරාය ඇතුළු  ඉඩම් විකිණීමේ ප‍්‍රශ්නය වැනි ප‍්‍රබල සමාජ දේශපාලන ප‍්‍රශ්න) ඒවාට ප‍්‍රතිචාර දැක්වීම වැදගත් නොවේ යැයි මෙම තර්කයෙන් ගෙන හැර දක්වයි. අද අපේ රටේ පවතින බොහෝ වෘත්තීය සමිතිවලට, ගොවි සංවිධානවලට, ධීවර සංවිධානවලට සිදුව තිබෙන්නේද ඔවුන්ගේ සටන්පාඨවලට පමණක් සීමා වීමෙන් මේ නස්පැත්තියමය. එකිනෙකා හුදකලාව තමන්ගේ ප‍්‍රශ්නයට පමණක් සටන් කළහොත් ආණ්ඩුවට මර්දනය කිරීම ඉතාම පහසුය.

ශිෂ්‍ය ව්‍යාපාරය රටේ අනෙකුත් දේශපාලන ප‍්‍රශ්නවලට මැදිහත්වීම හරහා සිදු වන්නේ එම බලවේග තුළටද එවැනි සංස්කෘතියකට දේශපාලන තෙරපුමක් ඇති කිරීමයි. කම්කරු, ගොවි, ශිෂ්‍ය, ධීවර, කාන්තා, තරුණ බලවේග මුල් කර ගත් විවිධ සංවිධානවල පවතින හුදකලාභාවය බිඳිය යුතුය. එහි වගකීම් කොටසක් ශිෂ්‍ය ව්‍යාපාරයටද පැවරේ. නමුත් එය එම කොටස අතහැර දමනවා නම් අනිවාර්යයෙන්ම හුදකලාභාවයට තල්ලූ වනු ඇත. මේ පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය හා එහි ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන් ගැඹුරින් කල්පනා කළ යුතුය. හුදකලාවාදයද? සාමූහිකවාදයද? ගත යුත්තේ කුමන පැත්තද? සංස්කෘතික තලයේදී සිසුන් මේ ප‍්‍රශ්නය ඉතා මැනවින් විසඳාලන්නේ ‘අල වෙනවාද? පොද්දො වෙනවාද?’ යැයි නවක සිසුන්ගෙන් අසමිනි. එහෙත් දේශපාලන තලයේදී සමහර සිසුන් එම තර්කයට ප‍්‍රතිවිරුද්ධව සිට ගැනීම උත්ප‍්‍රාසජනකය. නව ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණි විට ජ්‍යෝෂ්ඨයන් විසින් අවධාරණය කරන බරපතළම කරුණ වන්නේ සාමූහිකත්යේ වැදගත්කමයි. එහෙත් ඒ සාමුහිකත්වය පොදු කාරණාවක් ලෙස පමණක් ගෙන අවශ්‍ය තැනදී අදාළ කර නොගනී නම් එය හාස්‍යජනක හා බියජනක තත්වයකි.

කෙසේවුත් ආණ්ඩුව අරඹා ඇති නව ලිබරල් ගමනේ ඉදිරි පියවර ඉතාම ගැඹුරු බරපතළ ඒවාය. මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සටන එකවර තීව‍්‍ර බලපෑමක් එල්ල කළ හොත් අවසන් කිරීමට ඉඩක්ද ඇත. එහෙත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය උදුරා ගන්නා ගමන සුළු පටු ප‍්‍රහාරයකින් අවසන් කළ නොහැක. ඒ සඳහා වන දිග් ගැසුණු අරගලයක් ඇති අතර ඊට තීරණාත්මක කාර්ය කොටසක් සැපිරීමේ වගකීම අදත් ශිෂ්‍ය ව්‍යාපාරයට පැවරී ඇත.




Related News