මලික් සමරවික්‍රම‍, නන්දන ලොකුවිතානට පැවරුවේ ආයෝජන මණ්ඩලයටත් අයිති නැති ඉඩමක්ලු

නන්දන ලොකුවිතාන නම් ව්‍යාපාරිකයා විසින් ඉදිකිරීමට සූදානම්වන ටයර් කම්හලක් සදහා හොරණ වගවත්ත ප්‍රදේශයේ අක්කර 100 ඉඩමේ හිමිකාරත්වය පිළිබද ගැටලුවක් මතුව තිබේ.

ජනවාරි 5වැනිදා මෙම ටයර් කම්හලේ ඉදිකිරීම් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන විට එහි අක්‍රමිකතාවයක් ඇති බවට කරුණු හෙලිදරව් විය. ඇමති මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ ටයර් කම්හල් හිමිකරු පිළිබද තොරතුරු අගමැතිවරයා දැන නොසිටි අතර මෙම කම්හල ආරම්භ කිරීම පිලිබද ඔහු නොමග යවා ඇති බවය. උපායමාර්ගික සංවර්ධන අමාත්‍යංශය හරහා 99 අවුරුදු බදු ක්‍රමය යටතේ අක්කරය රු.100ක් තරම් අවම මුදලකට මෙම ව්‍යාපෘතිය ලබාදීම සම්බන්ධව විශාල විරෝධයක් මතුවිය. එසේම ආයෝජන මණ්ඩලයේ පාරිසරික හානියක් සිදුවීමට නියමිත බැවින් මෙම ව්‍යාපෘතිය වෙනත් ප්‍රදේශයකට ගෙනයන ලෙස වගවත්ත ප්‍රදේශවාසීන්ද උද්ඝෝෂණය කරන ලදී.

නන්දන ලොකුවිතාන  විසින් Rigid Tyre Corporation (Pvt) Ltd නමින් සමාගමක් ලෙස මෙම ටයර් කම්හල සදහා සැලසුම් ඉදිරිපත්කර ඇත්තේ ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසය. එහෙත් ආයෝජන මණ්ඩල ගිවිසුම අත්සන් කිරීමටත් පෙර කම්හල ඉදිකිරීම සදහා යන්ත්‍ර සූත්‍ර යොදවා අදාළ ඉඩමේ සූදානම් කිරීම් සිදුකිරීමටද පටන් ගෙන තිබිනි. ටයර් කම්හල සදහා රුපියල් බිලියන 11ක ආයෝජනයක් කරන්නට නන්දන ලොකුවිතාන සැලසුම් කළ අතර ඒ සදහා වසර 12ක බදු රහිත සහනයක්ද උපායමාර්ගික සංවර්ධන අමාත්‍යංශය විසින් පොරොන්දු වී තිබිණි. කම්හලෙන් රැකියා දහස් ගනනක් උපදවන්නටද නිෂ්පාදනවලින් 40%ක් දේශීය වෙළෙදපොළට නිකුත්කරන්නටද එකගතාවයක් ඇතිව තිබිණි.ආයෝජකයන්ට ඉඩම් ලබාදීමේ මිලගණන්වලට පටහැනි ලෙස උපායමාර්ගික සංවර්ධන ඇමති මලික් සමරවික්‍රම එකග වූ මිල ගනන්වලට ඉඩම පවරාදීමේ සූදානමක් ගැනද තොරතුරු හෙලි විය. කෙසේවෙතත් ආයෝජන කර්මාන්ත කලාප සදහා වෙන් කළ ඉඩම් ලැයිස්තුවෙන් මෙම ඉඩම නිදහස් කරන ලෙස අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර තිබිණි. එහෙත් පවතින විරෝධතා හමුවේ එම ඉදිකිරීම් නවතන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කරණ ලදී.

එසේ වුවද මෙම ඉඩම සම්බන්ධ නීතිමය අයිතියක් ආයෝජන මන්ඩලයට නොමැති බව දැන් හෙළිව තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ජනතා වතු සංවර්ධන මන්ඩලයට(ජනවසම) පවරා තිබුණූ මෙම ඉඩම ආයෝජන මණ්ඩලයට පවරාගෙන ඇති බව දැන් හෙළිව තිබේ. කෙසේ වෙතත් ජනවසම ඉඩමක් පවරාගැනීමේදී ආයෝජන මණ්ඩලය විසින් නිසි නෛතික විධිවිධාන අනුගමනය නොකළ බවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් චෝදනා නගා තිබේ.

Save

Save

Leave a Reply