ආණ්ඩුවේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය – ‘හක්කෙ බුදුරැස්, බොක්කෙ දඩමස්’
Posted on 01.25.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
වත්මන් ආණ්ඩුව පසුගිය නොවැම්බර් මස සිය 2017 වර්ෂය සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. කෘෂි කාර්මාන්තයට අපගේ ආර්ථිකයේ, සමාජයේ හා ජන ජීවිතයේ විශාල වැදගත් කමක් හිමිවන බැවින් ඊට මුල් තැන දෙමින් මුදල් ඇමතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කළේය. වත්මන් හවුල් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ ප‍්‍රධාන යෝජනා වනුයේ 2016 – 2018 තුන් අවුරුදු ජාතික සැලස්ම හා රතන හිමි හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව කි‍්‍රයාත්මක කරන ‘ධාර්මික ගොවිතැනක් නිරෝගිමත් ජනතාවත් වස විස නැති රටක්’ යන වැඩපිළිවෙළවල්ය. එහෙත් ඒ පිළිබඳව වචනයක් වත් රවි කරුණානායක මුදල් ඇමතිවරයාගේ අයවැය ලේඛනය තුළ අඩංගු නොවීය. එහි අඩංගු වුයේ වත්මන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට අනුව අදාළ කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදු කිරීමට උත්සාහ ගන්නා ප‍්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා පමණි.
අදවන විට වෙළඳපොළේ සහල් මිල බරපතළ ලෙස දිනෙන් දින වැඩි වීමට පටන් ගෙන ඇත. ඒ 2015, 2016 වර්ෂ දෙක තුළ රට තුළ නිෂ්පාදනය කරන ලද වී තොගය 2017 මැයි දක්වා සහල් පරිභෝජනයට ප‍්‍රමාණවත්ව තිබෙන තත්වයන් තුළය. වී මෝල් හිමියන් හතරපස් දෙනෙකු විසින් ගොවීන්ගෙන් තුට්ටු දෙකට මිලදී ගන්නා ලද මෙම වී තොගය තමන්ට රිසි මිලකට හාල් කර වෙළඳපොළට එවන ආකාරය බලා සිටීමට හැර වෙනත් කිසිවක් කරන්නට නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළට නොහැකි බව තව තවත් තහවුරු වෙමින් පවති. තත්වය එසේ තිබියදීත් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ රටේ ප‍්‍රධාන ආහාර භෝගය වන වී ගොවිතැන ප‍්‍රධාන බෝගවලින් ඉවත් කර ඇති අතර ප‍්‍රධාන භෝග ලෙස හඳුන්වා දී ඇත්තේ අල, ලොකු ළුණු, මිරිස්, බඩඉරිඟු හා සෝයාය. වී සඳහා යොජනා 02ක් එහි අඩංගුව ඇත. එක් යොජනාවක් වනුයේ දිනකට අවම වශයෙන් මෙටි‍්‍රක් ටොන් 50ක් (50,000kg) ධාරිතාවයකින් යුත් වී මෝල් සඳහා ණය පොලී සහනයන් ලබාදීමත්ය. අනෙක් යෝජනාව වනුයේ අවම වශයෙන් මෙටි‍්‍රක් ටොන් 5000 (5,000,000 kg) ධාරිතාවයකින් යුත් ගබඩා පහසුකම් ඇති කිරීම සඳහා පොලී සහනයක් ලබාදීමත්ය. මෙම සහන ලබා ගන්නට හැකි වන්නේද දැනටමත් වී තොග රදවාගෙන අධික ලාභයක් උපයන ප‍්‍රධාන මෝල් හිමියන් 4-5 දෙනාට පමණි. එයට අමතරව අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සමහරක් පහත දැක්වේ.
ප‍්‍රධාන ආහාර භෝග 05 හා වාණිජ මට්ටමින් පළතුරු හා එළවළු වගා කිරීම සඳහා මාදුරු ඔය දකුණු ඉවුර හා ආනෙකුත් රජයේ ඉඩම්වලින් අක්කර 1000ක් වන පරිදි දිර්ගකාලීන බදු ක‍්‍රමය යටතේ සමාගම්වලට ලබාදීම.
කෘෂි කර්මාන්තය යාන්ති‍්‍රකකරණය සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර ආනයනයට බදු සහන ලබාදීම කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයේ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කළ හැක්කේ මහා පරිමාණ වගා කළ හැකි ඉඩම්වලට පමණක් වන අතර අක්කර 2-3 වගා කරන බහුතරයක් ගොවීන්ට ඉන් සෙතක් සැලසෙන්නේ නැත.
දැනට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවල ඉතිරිව ඇති අක්කර 23,000 පමණ වතු වැවිලි ඉඩම් 2017 වර්ෂයේ විකුණා දැමීමට යෝජනා කර තිබෙනවා.
මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය හා අම්පාර දිස්ති‍්‍රක්කවල දිනකට උක් ද`ඩු මෙටි‍්‍රක් ටොන් 2000ක් ඇඹරිය හැකි සීනි කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා අයෝජකයන්ට ආරාධනා කර ඇති අතර ඔවුන්ට එම ප‍්‍රදේශයේ රජයේ ඉඩම් ලබාදීමටත් යෝජනා කර ඇත.
ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් පෞද්ගලික අංශයට හිමි නිෂ්පාදන ගොවිපළවල් සඳහා ලබාදීමට යොජනා කර ඇත.
අලිගැට පේර, අන්නාසි, රඹුටන්, බෙල් පෙපර්, කුඩා තක්කාලි, ගල්සියඹලා, මොර වැනි පළතුරු වගාවන් සඳහා ආයෝජකය කරා මහා පරිමාන ව්‍යවසායකයන් දිරිමත් කිරීමට යෝජනා කර ඇත. ගල් සියඹලා, මොර වැනි පළතුරු වර්ෂිකව අස්වැන්න නොලැබෙන පළතුරු වන අතර ඒවා වාණිජ ලෙස වර්ධනය කිරීමේදී වැඩි දියුණු කිරීම අරමුණු මේ යෝජනාවෙන් හෙළිවේ.
මෙලෙස ඉදිරිපත් වී ඇති යොජනා කිසිවක් වස විසවලින් තොර කෘෂි කර්මාන්තයක් හෝ ඇති කරන සැලැස්ම පිළිබඳ යෝජනා දක්නට නොමැත. මෙහි ඇත්තේ මෙම නව ලිබරල් අර්ථික වැඩපිළිවෙළ කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා යෝජනාය. සුළු හා මධ්‍ය පරිමාණ ගොවියා ගොවිතැනින් පළවා හැර මහා පරිමාණ ආයෝජකයන් සඳහා එම ඉඩප‍්‍රස්ථා විවර කරදීමට නියමිතය. මෙම නව ලිබරල් අභියෝගවලට එරෙහිව ගොවි ජනතාව පෙළ ගැසිය යුතුය.
එලෙසම මේ මොහොත වනවිට මෙම 2016 – 2017 වර්ෂයේ මහ කන්නයේ ගොවිතැන් කටයුතු අරඹා හාමාරය. එහෙත් වත්මන් මොහොතේ පවතින දැඩි නියගය නිසා ගොවිජන ජීවිත බරපතළ ඛේදවාචකයකට මුහුණ පා ඇත. එක් පසකින් එක් බිම් අගලක් වත් වගා කර ගැනීමට නොහැකි වු වගා බිම්ය. අනෙක් පසින් වගා කරගත් ඉඩමට ජලය සපයා ගැනීමට නොහැකිව අසරණ වූවන්ය. මේ තත්වය හමුවේ ගොවි ජනයාගේ අනාගතය ඉතා බියකරුය. සාමාන්‍යයෙන් මහ කන්නය යනු ගොවියාට සාපේක්ෂව යම් ආදායමක් සොයා ගත හැකි අවස්ථාවකි. එම ඉලක්ක සපුරාගත නොහැකිවීම යනු දරු පවුල් පිටින්ම ගොවිජනතාව මහ මඟට ඇද වැටීමකි. එම නිසා මේ තත්වය තුළ රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්ය වේ. රාජ්‍ය මැදිහත්වීමකින් නියඟයෙන් පීඩාවට පත් සියලූ ගොවීන්ට වන්දි ඉල්ලා අරගලයක් ඇරඹිය යුතුය.
අප ගොවි අරගල ව්‍යාපාරය ලෙස නියගයෙන් පීඩාවට පත් සියලූම ගොවීන්ට වන්දි ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරනු ලබයි. ඉඩම් මංකොල්ලයට, බීජ අයිතිය හා ජලය විකිණීමට එරෙහිවත් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහිවත් සටන් වදින ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related News