එක් දින වැඩවර්ජනය කැදවූ වෘත්තීය සමිති නායකයින් වෙත එල්ල කෙරෙන  රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු

flsp

එක් දින වැඩවර්ජනය කැදවූ  වෘත්තීය සමිති නායකයින් වෙත රාජ්‍ය මර්දනය එල් කිරීමට එරෙහිව එම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළවේ.

මෙවර අයවැය මගින් ඉදිරිපත් කෙරුණු යෝජනා ගණනාවකට විරෝධය දැක්වීම හා පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ගණනාවක් ඉටු නොකිරීමට එරෙහිව අද (15) දවසේ ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය එම වෘත්තීය සමිති විසින්ම කල් දමා තිබේ. අගමැතිවරයා ඔවුන් සමඟ පැවති සාකච්ඡුාවලදී ලබාදුන් පොරොන්දු මත පදනම්ව මෙය කල් දැමූ බව එම වෘත්තීය සමිති විසින් පවසා ඇත. ඒ අතර නියම කරගත් ආකාරයටම සිය වර්ජන ක‍්‍රියාමාර්ගය කි‍්‍රයාවට නැගීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. 

මෙහිදී එම සංගමයේ වැඩවර්ජන ක‍්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අතර එයට අනුව කියැවෙන්නේ එම වැඩවර්ජනයට දායක නොවන එම ආයතනවල සේවකයන්ට හිරිහැර නොකළ යුතු බවයි. එම නියෝගය ලබාදී ඇත්තේද ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිවරයාට හා ලේකම්වරයාටය. මෙම අධිකරණ නියෝගය හරහා අපට සිහිගන්වන්නේ පැවති රාජපක්ෂ පාලනය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට එරෙහිව ගත් විවිධ මර්දනීය ක‍්‍රියා මාර්ගයි. රාජපක්ෂ පාලන සමය තුළ මතුවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයන්ගේ එක් ප‍්‍රකාශනයක් ලෙස වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අඩාල කිරීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත් අතර අධිකරණ නියෝගද ලබාගෙන තිබිණි. වැඩවර්ජනවලට පමණක් නොව උද්ඝෝෂණ, පාගමන්වලට එරෙහිවද ඔවුහු එය ක‍්‍රියාවට නැගූහ. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවන් යැයි කියමින් බලයට ආ වත්මන් හවුල් පාලනයද ඉතා කෙටි කලකින් පැරණි පිළිවෙතටම මාරු වී ඇත. පැරණි පිළිවෙතම අලූත් මුහුණුවලින් ඉදිරියට යන්නේ නම් සිදුවූ වෙනස කුමක්ද? 

ලංකා බැංකු සේවක සංගමයට එල්ල වී ඇති ආණ්ඩුවේ මේ මර්දනීය ක‍්‍රියාමාර්ගය අප තරයේම හෙළා දකිමු. මෙම මර්දනකාරිත්වය තවදුරටත් වර්ධනයවීම වැළැක්වීම සඳහා අද දවසේ වර්ජනයේ යෙදෙන සියලූ දෙනාගේ එම ක‍්‍රියාමාර්ගය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. 

එමෙන්ම ඉහත පොරොන්දු මලූ කෙරෙහි විශ්වාසය නොතබන ලෙසත්, ආණ්ඩුව යෝජනා කර ඇති උපායමාර්ගික වැඩපිළිවෙළ අනුව ඉහත සුළු සුළු වෙනස්කම් එක් පැත්තකින් කඩවුණු පොරොන්දු විය හැකි බවත්, තවත් විටෙක එම පොරොන්දු හරහා ලැබෙන වාසිය වෙනත් පැත්තකින් උදුරා ගැනීමට හැකි බවත් වැඩකරන ජනතාවට අවධාරණය කරමු. අද දිනයේ වැඩවර්ජනය පොදුවේ ක‍්‍රියාත්මක නොවුණද ඉහත තත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් හවුල් පාලනයේ මෙම උපාය මාර්ගයට එරෙහි දිගුකාලීන උපායමාර්ගික සටනකට සූදානම් වන ලෙසත් වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. 

දේශපාලන මණ්ඩලය

2015.12.15

Leave a Reply