වර්ධරාජාට හා කුමාර්ට මේ ආණ්ඩුව බෙදන්නේ හැදි දෙකකින් – පෙසපෙන් ආණ්ඩුවට චෝදනා

photos 2

වත්මන් ආණ්ඩුව ආර්ථිකයේදී පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදීත් කටයුතු කරන්නේ දෙයාකාරයකින් බවත්, එබැවින් වර්ධරාජා පෙරුමාල්ට ලැබෙන සැලකිලි කුමාර් ගුණරත්නම්ට නොලැබෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරමින් පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මෙසේ චෝදනා කරනු ලැබුවේ 18 දා මරදාන රදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මෙසේ ද පැවසීය.

කුමාර් ගුණරත්නම් සහෝදරයා සම්බන්දව ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග අද ඔවුන් ලබා දෙනවා කියූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංකේතය බවට වෙලා. ආණ්ඩුව මෙච්චර දවස් කිය කිය හිටියේ නඩුවක් තියෙන නිසා පුරවැසිභාවය සලකන්න බෑ කියලා. නමුත් දැන් මේ ගැන ඇහැව්වටවත් කව්රුත් මොකුත් කියන්නේ නෑ. ආණ්ඩුවේ අගමැති, ඇමැතිවරු, මේ කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ. ජනාධිපතිතුමා නම් සමහරවිට පස්සේ කියයි මම මේ ගැන දන්නේ නෑ මේ ගැන දැනගත්තේ පත්තරෙන් කියලා.

අලූත්ම වැඩේ තමයි මේ සියලූ දේ මෙසේ සිදුවෙද්දී බන්ධනාගාර දෙපාර්තමෙන්තුව මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර කුමාර් සහෝදරයාව වසරක සිර දඬුවමකින් පසු පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන්න කියා ඉල්ලීම. මේ අනුව දැන් ආණ්ඩුව නොනිල විධියට කියලා ඉවරයි කුමාර් සහෝදරයාට ලංකාවේ පුරවැසිකම දෙන්නේ නෑ කියාල.

අපි ලංකාවේ  ඕනෑම කෙනෙක් ආර්ථික හෝ දේශපාලන හේතු මත ලංකාවෙන් පිටමන්වුණා නම් ඔහුගේ හෝ ඇයගේ පුරවැසි අයිතීන් දෙන්න  ඕන කියලා පෙනී ඉන්නවා.

පසුගියදා වර්ධරාජා පෙරුමාල් ස්වාධීන රූපවාහිනී දේශපාලන වැඩසටහනක අදහස් දැක්වුවා. අපි අහනවා ඔහුට හා කුමාර් සහෝදරයාට දෙවිධියකට සලකන්නේ ඇයි? අපි දන්නෑ ඔහු ලංකාවේ පුරවැසිභාවය ලබාගෙනද ඉන්නේ කියාල. ඔහු ලංකාවෙන් ඉන්දියාවට ගියාට පස්සේ ලංකාවේ පුරවැසිභාවය අහෝසි වුණා. දැන් ලංකාවට ඇවිත් සතියක් විතර වෙන්නේ. ඇවිත් දේශපාලනය කරනවා. අපි ඔහුට පුරවැසිභාවය දෙනවාටවත්, ලංකාවේ දේශපාලනය කරනවාටවත් අපි විරුද්ධ නෑ. නමුත් මේකෙන් පේන්නේ තමන්ට හිතවත් අයට එක විධියකටත් ලංකාවේ දේශපාලනය කරන්න එන්නේ කියලා ලිඛිතව අයදුම් කරලා. පුරවැසි භාවය ඉල්ලලා ආපු අය සිරගත කිරීම හා තමන්ට හිතවත් අයට ඒවා අදාල නොවෙන්නේ කොහොමද කියන එක. මහබැංකු අධිපතිවරයාගේ ප‍්‍රශ්නේදීත් අපි මේ ගැන කතා කළා.

මේ අනුව ඉතා පැහැදිළියි ආණ්ඩුව ආර්ථිකයේදී මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදීත් බෙදන්නේ හැඳි දෙකකින් කියන එක.