තම මතවාදවලට සාක්කියක් තමිලිනිගෙ පොතෙන් හොයන්න එපා – සාමිනාදන් විමල්

2016.05.saminathan

‘තමිලිනි‘ හෙවත් සුබ්‍රමනියම් සිවකාමි විසින් රචනා කළ ස්වයංලිඛිත චරිතාපදානය Under the Shadow of Sword  සිංහල බසින් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. චූලානන්ද සමරනායක මෙහෙයවූ මෙම සභාවේදී තමිලිනිගේ සැමියා ජෙයකුමාරන්, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිනි වියන්ගොඩ අදහස් දැක්වීමෙන් දායක වූහ. විවිධ දේශපාලන ස්ථාවරයන් සහිත විශාල පිරිසක් එක්ව සිටි මෙම අවස්ථාවේදී එම කෘතිය තමිල් බසින් සිංහලයට නැගූ සාමිනාදන් විමල් විසින් කළ අදහස් දැක්වීම ඇසුරින් සංක්ෂිප්ත කළ සටහනකි මේ.

මේ පොත පිළිබද විශාල ආන්දෝලනයක් වුණා. ලංකාව තුල මෙන්ම ලංකාවෙන් පිටතත් ආන්දෝලනයක් වුණා. ඒ නිසා මේ පොත ගැන වැරදි වැටහීම් ඇති වෙන්න පවා හේතු වුණා කියලයි මම හිතන්නෙ. සාමාන්‍යයෙන් අප ජිවත්වන සමාජයේ යම් දෙයක් ගැන වැඩි වශයෙන් ජනප්‍රිය ලෙස කතා කරනවා නම් අපි ඒ ගැන  සැකකළ යුතුයි. මෙකද යුද්ධය සමයෙ මාධ්‍ය මගින් වැඩි වශයෙන් උලුප්පා දැක්වුවේ යුදවාදයයි.

තමිලිනිගෙ පොත දිහා බලන්නෙ මේකෙ එල්ටීටීඊ සංවිධානෙ රහස් ඇති. ගොඩක් දෙනා පොත ගැන දක්වන උනන්දුව හා කතාකරන කාරණා අනුව මට පෙනෙන්නෙ ඒ අය උනන්දු වෙන්නෙ මෙච්චර කාලයක් යුද්ධ කරන්න එල්ටීටීඊයට හැකි වුණු රහස දැනගන්න. ඒ රහස දැනගන්න සමහරු මේ පොත කියවන්න පුලුවන්. තවත් සමහරු උත්සාහ කරනවා ඇත්තෙ තමන් දරණ මතවාදයට සාක්කියක් මේ පොතෙන් ගන්න වෙන්න ඇති. තමිලිනි එල්ටීටීඊය විවේචනය කරමින් සමහර කාරණා කියන කොට සිංහල සමාජයේ සමහරු ‘ඔය අපි කිව්ව දේ තමිලිනිත් කියන්නෙ‘ කියලා කියන්න පුලුවන්. මා හිතන විධියට ඒක නොවේ සිදුවිය යුත්තෙ. මේ පොත බැලිය යුත්තෙ තමන් දරණ මතවාදවලට සාක්කි සපයාගන්න නොවේ. තමන් අනුදත් ක්‍රියාමාර්ග පිළිබද කෙනෙක් කොතරම් දුරට ස්වයංවිවේචනාත්මකව බලනවාද යන්නත් යම් කිසි සමාජයක ඉදිරි ගමනට ඒ ස්වයංවිවේචනය කොතරම් වැදගත්ද යන්නත් අවධානයට ගත යුතුයි.

තමිලිනි සදහන් කරන ආකාරයට ඇය අරගලයට යොමු වුණෙත් අරගලය පිලිබද ස්වයංවිවේචනාත්මකව බලන්න යොමු වුණෙත් ජනතාව ගැන ජනතාවගේ විමුක්තිය ගැනත් හැගීම නිසා බවයි මගේ අදහස.

ක්‍රියාමාර්ග කොතරම් වැදගත්ද කියන එක වටහා ගන්න නම් ඒ ක්‍රියාමාර්ග හරහා තමන්ගෙ අරමුණු කොතරම් දුරට ක්‍රියාමාර්ග තුළින් ඉටුකරගන්න පුලුවන්ද කියන කාරණාවට වැදගත් වෙනවා. ඒ නිසා අරගලය පිලිබද දෙමළ සමාජය තුළ මතුවූ සාධනීය විවේචනාත්මක දෘෂ්ටියක් ලෙස වැදගත් වෙන කාරණයක්. එවැනි ස්වයංවිවේචනාත්මක ප්‍රයත්නයක් දෙමළ සමාජය තුලින් පැමිනි ආකාරයටම සිංහල සමාජයෙන් එවැනි දෙයක් මතුවෙනවාද කියන කාරණය වැදගත් වෙනවා.

මේ පොතේ සදහන් වෙන කරුනු තමන් දෙස විවේචනාත්මක දෘෂ්ටියෙන් බැලු අවස්ථාවක්. ඒ නිසා මේක ලංකා සමාජයේ කාටත් විශේෂවන කාර්යයක් ලෙස සැලකිය හැකියි. තමිලිනි සදහන් කරන ආකාරයට ඇයි ඇයට දකුනේ සමාජය සමග සම්බන්ධ වීමේ අවස්ථාව නොලැබුණේ? ඇයි දකුණේ ප්‍රගිතිශීලී සංවිධානවලට උතුර සමග සංවාදයක් ගොඩනගාගන්න බැරි වුණේ? ඒක යුද්ධය විසින් යටපත් කරන ලද කාරණයක් ලෙස වටහාගන්න පුලුවන්. ඒ වගේම අවසන් වුණේ යුද්ධය මිස ප්‍රශ්නය නොවේ කියන එකත් ඒ ප්‍රශ්න විසදාගැනීමට නොහැකිවීමේ අනතුරක් අපට තවමත් තිබෙන බව අවධාරණය කළ යුතුයි. ඒ ප්‍රශ්න විසදාගැනීමට ප්‍ර යෝජනවත්වන ආදර්ශයක් හා අලුත්දැකීම් මේ කෘතිය තුල පවතිනවා.

තමිලිනී අරගලයට ඉදිරිපත්වීම තුළත් අරගලය පිලිබද විවේචනයක් කිරීමට උත්සුකවීම තුළත් අවසානයේ මෙම කෘතිය අලෙවියෙන් ලැබෙන මුදල් මහරගම පිළිකා රෝහලට යොමු කිරීමට ඇය කළ ඉල්ලීම තුළත් හදුනාගන්නට ලැබෙන්නේ ඇය තුළ වූ පෞරුෂත්වයමයි. මේ සමාජයට වැඩ කළ යුතුයි කියන අදහස තුළින් ප්‍රකාශ වෙන්නේ ඒ මනුෂ්‍යත්වයමයි. ඒ වගේම අරගලය ආශ්‍රයෙන් දෙමල සමාජයේ කාන්තාව මුහුණ දෙණ ගැටලු පිළිබද විවරණයක් කරන්න ඇය විශේෂ උත්සාහයක නිරත වෙනවා. හැම දේශපාලන වයාපාරයකම කාන්තාවන් නියෝජනය වුණත් එම ක්‍රියාවලිය තුල කාන්තාවගේ ශ්‍රමය ලබාගන්නවා මිස කාන්තාවගේ විමුක්තිය පිළිබද කොතරම් අවදානයක් යොමුකරනවද අදාළ සමාජයේ මතකවාදයන් වෙනස් කරන්න ඒ සංවිධාන වලට හැකි වෙලාද කියන කාරණය මේ කෘතියෙන් මතු කරනවා. කාන්තාවගේ ප්‍රශන කුල ප්‍රශ්න සහ අදාළ සමාජයේ පසුගාමී අදහස් වෙනස් කරන්න කොතරම් දුරට මේ අරගලයට හැකි වුණාද කියන කාරණය මේ කෘතියෙන් මතු කරනවා. ඒ නිසා මේ කාරණය ලංකාවේ පොදු සමාජයටම වැදගත්. ඒ නිසා මේ දෙමළ විමුක්ති අරගලය තුල සිටි කෙනෙක් විසින් කෘතියෙන් මතුකරන අදහස් ලෙස අරගලය පිළිබද, වඩා යහපත් හෙට දවසක් පිළිබද අදහස් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම අරගලයේදී නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම මේ පොතේ සටහන් වෙනවා. සමාජ විමුක්තිය වෙනුවෙන් වැඩකිරීමේදී අදහසක් ලබාගන්න මේ කෘතිය වැදගත් වෙනවා කියලා මා හිතනවා.

අපට තවමත් පරාජය කරන්න නොහැකි වූ ආගම්වාදය, ජාතිවාදය පිළිබද වෙනස් කළ නොහැකි තත්වය ගැනත් නැවත නැවත සිතීමට මේ පොත තුල කරුනු දක්වනවා. ලංකාවේ සිංහල දෙමළ ජනතාව අතර ඇති විරසකභාවය ගැනත් මිනිසුන්ට අනෙකා ආශ්‍රය කිරීම තුළින් ඇතිවන වෙනස්කම් දෙස කවුලුවක් විවර කිරීමටත් මේ පොතේ අදහස් ඉවහල් වෙනවා. ඒ නිසා සිංහල සමාජය හා දෙමළ සමාජය අතර දෙමළ සමාජය පිළිබදවත් අරගලය පිළිබදවත් පවතින අදහස් වෙනස් කරන්න මේ කෘතිය තුළින් හැකි වේවි කියලා මා හිතනවා. ඒ වගේම තමිලිනි දක්වන අදහස්වලින් ඇය මියගිය පසුවත් තම අරගලය පිලිබද නැවත නැවත පැවසීමේ හැකියාවක් ලැබීම වැදගත් වෙනවා. අවසාන මොහොත දක්වා මනුෂ්‍යත්වය වෙනුවෙන් තමන් කළ අරගලය අත් නොහැරීමේ දිශාවෙන් මේ කෘතිය වැදගත් වෙනවා.

අවසාන වශයෙන් මේ කෘතියෙන් අප නැවත නැවතත් ලබාගන්නා පාඩම වන්නේ සිංහල හා දෙමළ සමාජයන් අතර පවතින දුරස්තභාවය අහෝසිකිරිම සදහා අප අයත් එක් එක් ක්ෂේත්‍රවල වැඩ කිරීම බව සිහිපත් කරමින් මා නවතිනවා.

2016.05.15 thamilini book 2016.05.15.1