தமிழ்
English
Contact
Friday 29th September 2017    
දයා වන්නිආරච්චි අභාවයට පත් වේ – අවසන් කටයුතු 25 වැනිදා « Lanka Views | Views of the truth

දයා වන්නිආරච්චි අභාවයට පත් වේ – අවසන් කටයුතු 25 වැනිදා



ජනතාව විමුක්ති පෙරමුණේ කීර්තිමත් නායකයකු ලෙස හා ජවිපෙ මහලේකම් ලෙස 1978 පළමු ජවිපෙ මහසමුලුවෙන් තේරීපත් වූ දයා වන්නිආරච්චි අභාවයට පත් විය.

පළමුවරට ජනතා විමුක්ති පෙරමුණේ සමුලුවකදී සාමාජික අනුමැතියෙන් පත් වූ මහ ලේකම් දයා වන්නිආරච්චි බව ජවිපෙ ඉතිහාසය පරික්ෂා කිරීමේදී අනාවරණය වේ. 1968 වීරකැටිය මධ්‍ය මහ විදුහලේ ශිෂ්‍යයකු ලෙස වාමාංශික දේශපාලනයට පිවිසි ඔහු ගාමිණි බාස්, විජේදාස ලියනාරච්චි, පැන්ටිස් අබේගුණවර්ධන, දහනායක වැනි ප්‍රකට සගයන් සමග ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නිරත විය. 1971 අප්‍රේල් අරගලයෙන් වරද පිළිනොගත් ඔහු අපරාධ යුක්ති කොමිෂන් සභාව ඉදිරියට පමුණුවන ලදුව සිරගත කෙරිණි. විවිධ සංවිධාන ආකෘති යටතේ සිරගෙවල් තුළ ක්‍රියාත්මක වූ ජවිපෙ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ඔහු සක්‍රිය මැදිහත්වීමක් සිදු කළේය. 1977 තාවකාලික මහලේකම් ලෙස කටයුතු කළ උපතිස්ස ගමනායකට පසුව ඔහු මහලේකම් ලෙස නිල වශයෙන් තේරී පත් වූයේ 1978 ජවිපෙ පලමුවැනි සමුලුවේදීය. 1983 පක්ෂ තහනමෙන් පසුව දේශපාලන කටයුතුවලින් බැහැර වූ ඔහු වීරකැටියේ සිය නිවසට වී අප්‍රකට එහෙත් දේශපාලන ප්‍රතිපත්ති පාවා නොදෙන ආකාරයේ ජිවිතයක් ගත කළේය. දරුවන්ට ඉංග්‍රිසි ඉගැන්වීමට කෙරුනු ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ප්‍රදේශයේ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස අවසන් කාලය දක්වා කටයුතු කළේය.

 හම්බන්තොට පැවැති දේශපාලන බලයක් ලෙස රාජපක්ෂවරුන්ගේ ප්‍රභූ ආධිපත්‍යයට හා මැර බලයට එරෙහිව කටයුතු කළ දේශපාලන අරගලයට ඔහු සිය පක්ෂ සගයන් සමග නොපැකිළව නායකත්වය දුන්නේය. 1987-89 අරගලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ජවිපෙ මර්දනය තුළ අත්අඩංගුවට පත් වූ දයා වන්නිආරච්චිට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කරන්නට නොහැකි වූයෙන් නිදහස් කෙරිණි.

දයා වන්නිආරච්චිගේ මරණයේ අවසන් කටයුතු හෙට (25) සවස සිදුවන බව ඥාතීහු පවසති. මෙම මරණය පිළිබද අවසන් බුහුමන් දක්වන්නට පැමිණෙන අයට බෙලිඅත්ත, තංගල්ල හෝ රන්න මාර්ගවලින් එහි ළගා විය හැකිය. තංගල්ල අගුණකොලපැලැස්ස බස්රථයේ ගමන් ගන්නා අයට එහි ළගා විය හැකිය.

 




Related News