කම්කරු දෙපාර්තමේන්තුවත් ශ්‍රම කොල්ලයේ – අඩු වැටුපට විදේශ කම්කරුවන් යොදවති !

2016.05.18 indian workers2

ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්නටත් පෙර පහළ වැටුප් හා අවම වරප්‍රසාද යටතේ විදේශ කම්කරුවන් සේවය කරන බව අනාවරණය වේ. සේයාරූවලින් දැක්වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සේවය කරන විදේශ කම්කරු පිරිසකි

ආණ්ඩුව විසින් ඉන්දිය රජය සමග අත්සන් කිරීමට අපේක්ෂිත ‘එට්කා‘ ගිවිසුමේ යෝජිත කොන්දේසි අනුව මතුවන බරපතල ගැටලුවක් වන්නේ මෙරට සියලු මට්ටම්වල සේවක ශ්‍රමයට ගෙවීම් පහළ මට්ටම්වලට ඇද වැටීමය. මේ වනවිට ප්‍රකට ඉදිකිරීම් ආයතනයක් මගින් ඉදිකරමින් යන කම්කරු දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලිවල සේවයට බරපතල ලෙස අඩු ගෙවීම් හා සේවා වරප්‍රසාද යටතේ සේවකයන් ඉන්දියාවෙන් හා වෙනත් ආසියානු රටවලින් ගෙන්වා ඇති බව එහි සේවය කරන ලාංකික සේවකයෝ චෝදනා කරති.මෙම ඉදිකිරීම් ආයතනය විසින් ලාංකික ශ්‍රමිකයන්ට ස්ථිර වැටුප්තල හා කම්කරු නීතියට අනුව වරප්‍රසාද ලබා දෙන නමුත් විදේශ සේවකයන්ට නවාතැන්, ආහාර හා දෛනික සොච්චම් වැටුපක් ලා දෙමින් දැවැන්ත ශ්‍රම කොල්ලයක යෙදේ. මෙම සේවකයන් පවසන ආකාරයට දේශීය ශ්‍රමිකයන්ට රු. 45000ක මාසික වැටුප් හා සම්මත සේවා වරප්‍රසාද හිමි වේ. එහෙත් මෑන් පවර් හෝ වෙනත් කොන්දේසි මත තාවකාලික පදනමින් ගෙන්වා ඇති විදේශික කම්කරුවන්ට සපයන නවාතැන් හා ආහාර පහසුකම් සහිතව වුවත් හිමිවන්නේ වැඩ කරන දිනකට රු. 800-1000 අතර ගෙවීමකි.

2016.05.18 indian workers