පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ මධ්‍යම කමිටු සාමාජික සුජිත් කුරුවිට ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයක් අද (23)සවස වාර්තා විය. මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම උත්සාහය ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සුජිත් කුරුවිටගේ නිවසේදීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුජිත් කුරුවිටගේ රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති නිල අදුම් සහිත හා රහිත පොලිස් නිලධාරීන් පිරිසක් කඩදාසියක ටයිප් කරන ලද එම පක්ෂයේ ක්‍රයාකාරින්ගේ  නාමලේඛනයක් පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන ඇත. එහිදී සුජිත් කුරුවිට ඊට විරෝධය පෑ විට තමන්ට බලහත්කාරයෙන් ගෙන යාමට හැකි බවද පොලිසිය දන්වා ඇත. එසේ බලහත්කාරයෙන් ගෙන යාමට පෙර චෝදනා පත්‍රයක් හෝ අධිකරණ නියෝගයක් ඇත්දැයි පුබුදු ජයගොඩ විසින් කළ විමසීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීදුරුවක් බිඳඇතැයි චෝදනාව ලෙස දැක්වෙන බව පොලීසිය සඳහන් කර තිබේ.

නමුත් එවැන්නක් නොමැතිව සිටි පොලිසිය එහි පැමිණ තිබුණේ ටයිප් කරන ලද නම් ලැයිස්තුවක් පමණක් අතැතිවය. එහිදී පෙ.ස.ප. ක්‍රියාකාරිකයන්ගේ විරෝධය හමුවේ පොලිසිය පවසා ඇත්තේ ඉහත චෝදනා යටතේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය නිසා හෙට දිනයේදී (24) පෙරවරු 10.00ට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසයි.