ජී.එස්.පී. ප්ලස් – අධිරාජ්‍යවාදයේ සහන ඉදිරියෙන් කොන්දේසි එන එන අයුරු

2016-05-10gsp+

යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහන යලි ලංකාවට ලැබුනු බවට රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව විසින් ගෙන ගිය බොරුව යට සැගවුනු කොන්දේසි පෙළ ගැන මේ දක්වාම කිසිවකුගේ අදහසක් පළ වී නැත. යුරොපා සංගම් මූලස්ථානය පිහිටි බෙල්ජියමේ බ‍්‍රසල්ස් බලා පසුගියදා පිටත්ව ගිය විදේශ අමාත්‍යංශයේ නියෝජිත පිරිසක් විසින් ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට ලංකා රජය අයදුම් කිරීමේ අදහස නිල වශයෙන් දන්වා සිටින බව විදේශ අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය. එහි සඳහන් ආකාරයට යුරෝපා සංගමයේ හා ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා පිළිබඳ සහයෝගිතාව වෙනුවෙන් වූ ක‍්‍රියාකාරී කණ්ඩායම වශයෙන්  මෙම කාරණා පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡුා පවත්වා ඇත. යුරෝපා සංගමයේ කොන්දේසි අනුව ජී.එස්.පී ප්ලස් සහනය අයදුම් කිරීමේ අරමුණ මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

‘ජී.එස්.පී. ප්ලස්’ යන කෙටි යෙදුම දිගු කළ විට කියැවෙන්නේ  ‘තිරසාර සංවර්ධනය හා යහපාලනය පිළිබද යුරෝපා සංගමයේ විශේෂ සහන සැකසීමේ ක‍්‍රියාවලිය’ යන්නය. ජී.එස්.පී. ප්ලස් යනු දැඩි කොන්දේසි සහිතව එකගතා ඇතිකරගැනීමෙන් පසුව ආනයනවලට යුරෝපා රටවල තීරු බදුවලින් නිදහස් කෙරෙන සහන ක‍්‍රමයකි. ප‍්‍රකාහිත ආකාරයට එම සහන ක‍්‍රමය යම් තෝරාගත් රටවලට හිමිකර දී ඇත්තේ මානව හිමිකම් හා යහපාලනය වෙනුවෙන් විශේෂිත අභිමතාර්ථ ඉටු කිරීම වෙනුවෙනි.

2010 දී ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කෙරුණේ ආණ්ඩුව විසින් ධීවර කර්මාන්තය ආශ‍්‍රිතව සපුරාලිය යුතු බහුවිධ කාරණා ඉටු නොවීම නිසාය. මෙම සහන ක‍්‍රමය දිගු කාලයක් ලංකාවට හිමිව තිබිණි. දැන් යුද්ධය අවසන්ව ඇත. පාලනය මාරු විය. මේ පසුබිම පිලිබඳ යුරෝපා සංගමය ඇතුළු අධිරාට්‍යවාදීන්ගේ ප‍්‍රවේශය කෙබඳුද යන්න දැන් වටහා ගන්නට හැකිය. යුරෝපා සංගමය මෙන්ම වෙනත් අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අවධාරණයෙන් ඉල්ලාසිටි ආකාරයට හදිසි නීතිය ඉවත් කරනු ලැබිණි. එහෙත් හදිසි නීතිය ඉවත් කළ යුතුව තිබුණේ මර්දනය ඉවත් කරන ලෙස ප‍්‍රගතිශීලී බලවේග යුද තත්වය පැවැති සමයේම ඉල්ලා සිටි අවස්ථාවේදීය. එය ඉටු නොවීය. යුද සමය අවසානයේ ජනතාවට සාමාන්‍ය ජීවිතය කරා යන්නට හමුදා කඳවුරු ඉවත් කර. ජනයාගේ ඉඩම් ලබාදී සිවිල් පාලනය පිහිටුවන්නට කළ ඉල්ලීම් ඉටු නොවිණි. රාජපක්ෂ ආණ්ඩුව විසින්ම පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම එම නිර්දේශ ඉදිරිපත් කළද ඒවා ක‍්‍රියාවට නැගුනේ නැත. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූව විසින් යෝජනා සම්මත කරමින් කළ බලපෑම මත විවිද වෙනස්කම් කරන්නට රාජපක්ෂ පාලනයටත් වත්මන් පාලනයටත් සිදුවිය.

දැන් යුද්ධයට පසුව ජිනීවා කොන්දේසි මත සංහිදියාව වෙනුවෙන් පියවර කිහිපයක් ගෙන තිබේ. කෙසේවෙතත් ආණ්ඩුව විසින් සැපිරීම අපේක්ෂා කරන කොන්දේසි 58ක ලැයිස්තුවක් පිළිබඳ යුරෝපා සංගමය විසින් අවධාරණය කර තිබේ. එයින් පෙනී යන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට ශ‍්‍රී ලංකා බලධාරින් විසින් කළ යුතු බොහෝ දේ තවමත් ඉටු කර නැති බවයි. නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා මෙසේ ඉටු කළ යුතු දේ සිදු නොවීම පිළිබඳ අදහස පිළිගෙන තිබේ. මේ ඉටු කළ යුතු දේ අතර ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමද අයත්ය. එසේම තවමත් රඳවා සිටින පුද්ගලයන් පිළිබද නඩු විභාග කඩිනම් කිරීම, සංග‍්‍රාම බිමේ හිටපු සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම, අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ අයිතිවාසිකම් සදහන් කරමින් අපරාධ නීතිය සංශෝධනය කිරීම, මහජන ව්‍යාකූලතා කලමනාකරණයට නව නීති ගෙන ඒම, මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම, එක්සත් ජාතීන්ගේ ස්වේඡුා කණ්ඩායම් විසින් පෙන්වා දෙන බලහත්කාරී පැහැරගැනීම් හා අතුරුදන් කිරීම් පිළිබඳ සිදුවීම් පිළිබඳ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම යන කරුණු ආණ්ඩුව විසින් සපුරන්නට තවදුරටත් ඉතිරිව ඇති කොන්දේසි අතර තිබේ. අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කිරීම සහ අපරාධවල වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ක‍්‍රයිත්මක කිරීමට පියවර ගැනීම, නව මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම, ආබාධිතයන් පිළිබඳ ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කරන්නට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද යුරෝපා සංගමයේ කොන්දේසි අතර වේ. මේ සියල්ලමත් දේශීය වශයෙන් දේශපාලන වයාපාර හා සිවිල් සංවිධාන විසින් ඉල්ලා සිටි දේය. ජනමතයට ඇහුම්කන්දී ඒවා ඉටු කිරිම වෙනුවට විදේශ ආර්ථික සහන වෙනුවෙන් ඒවා කරන තැනට පසු බසින්නට ආන්ඩුවට සිදුව ඇත.

නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමත් බන්ධනාගාර පමණ ඉක්මවා පිරීම වැලැක්වීමේ පිියවර ගැනීමත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවෙන් හඳුනාගත් කරුණු  සම්බන්ධ කාර්යභාරය ඉක්මන් කිරීම, නඩුවිභාග ප‍්‍රමාදවීමෙන් යුක්තිය පසිඳලීම ප‍්‍රමාද වීම නිසා ඒ පිළිබඳ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීම, ත‍්‍රස්තවාදී ලැයිස්තුවේ සිටින තමිල් ඩයස්පොරා සංවිධාන හා පුද්ගලයන් පිළිබඳ නැවත සලකා බැලීම යන කරුණු ද මෙම කොන්දේසි මාලාවට අයත් වේ.
එසේම ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට අයදුම් කරනනට පෙරාතුව ලංකාව විසින් කළ යුතු තවත් කාර්යයන් තිබේ. ඒ අතර ජාත්‍යන්තර ප‍්‍රඥප්ති 27ක් මෙරට බලාත්මක කිරීම සම්බන්ධ නීති ක‍්‍රියාවලිය් සක‍්‍රිය කිරීම යුරෝපා සංගමය විසින් අවධාරණය කර ඇත. කොන්දේසිවලට යටත් වී ඇති ආකාරය අනුව ඇත්තවශයෙන්ම ලංකාවේපාලනය කරන්නේ රනිල්-මෛත‍්‍රී හවුලද නැත්නම් යුරෝපා හාම්පුතුන්දැයි ප‍්‍රශ්නයක් ඇති වේ. ලාංකිකයන්ට සහන හිමිවන කොන්දේසි මේ අතර ඇතත් ඒවා ඉටු කරන ආකාරය අනුව ඇත්ත වශයෙන්ම ඒවා සැලකිය හැක්කේ ජනතා අවශ්‍යතා ඉටු කිරිමේ පියවර ලෙස නොව හාම්පුතුන්ගේ තරවටුවලට යටත්වීමක් ලෙසය.

මෙම කොන්දේසි ක‍්‍රියාත්මක වන බවට ද්විවාර්ෂික සමාලෝචන ක‍්‍රියාමාර්ග යුරෝපා සංගමය විසින් ගනු ලබන අතර බාහිර නිරීක්ෂණ ආයතනවල සහයෝගයද ලබා ගනී. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප‍්‍රඥප්ති ක‍්‍රියාත්මක වන අකාරය නිරීක්ෂනය කරමින් එයින් ප‍්‍රතිලාභ ලබන අයගේ අත්දැකීම්ද ඇසුරින් ජී.එස්පී. සහනය පවත්වාගැනිමේ හැකියාව නියාමනය කරන්නට යුරෝපා සංගමය කටයුතු කරන බව ඔවුන්ගේ කොන්දේසි අතර පැහැදිලිව සටහන්ව ඇත.