ඇමැති පාඨලී සියඹලා ගෙනාවෙම නැද්ද?

Patali Acsident

පසුගියදා රාජගිරිය පාර්ලිමේන්තු මාවතේදී විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට අයත් ජීප් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. අදාල අනතුරු සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ අමාත්‍ය පාඨලී චම්පක රණවක බවට චෝදනා එල්ල වන අතර, අනතුර සියැසින් දුටුවන් පවසන්නේ අනතුර සිදු කර අදාල රථය පළා ගිය බවත්, තරුණයන් රථය ලුහුබැද අල්ලා ගැනීමෙන් පසු තමන් ඇමැති පාඨලී බව පවසා, බොරුල්ල පොලිසියට පැමිණෙන ලෙස දන්වා අමාත්‍යවරයා පැන ගිය බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද හිමිදිරි පාන්දර සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් දක්වා ඇති අමාත්‍ය පාඨලී චම්පක රණවක පවසන්නේ එම අනතුර සිදු වූ රථය සිය පරිවාර රථයක් බවත්, අනතුරින් පසු රථය පළා ගිය බව පැවසීම මුසාවත් බවයි.

එමෙන්ම අදාල අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පක වක්‍රව චෝදනා කරන්නේ අනතුරට ලක් වූ තරුණාටය. අදාල ෆේස්බුක් සටහන මගින් පාඨලී චම්පක කරුණු දක්වා ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රී 10:00ට පමණ බොරැල්ල සිට රාජගිරිය දෙසට තරුණ ළමුන් කණ්ඩායමක් මෝටර් බයිසිකල් කිහිපයක නැගී ගමන් ගන්නා අවස්ථාවක මෙම අනතුර සිදු වූ බවත්, එම යතුරු පැදිය 1000CC කාණ්ඩයට අයත් යතුරු පැදියක් බවත්, එය මීට දින කිහිපයකට පෙර මිළදී ගත්තක් බවත්, අදාල තරුණයා අවුරුදු 24ක තරුණයෙකු බවත්ය.

මෙම සටහනින් අමාත්‍යවරයා නොකියා කියන්නේ ‘කොලුකමට මුන් රේස් පදිනවා, ඒ මදිවට නීති විරෝධී බයිසිකල්වලින්, ඒක නිසා කොලුකමට වෙච්ච දේවල්වලට මට වගකියන්න බෑ…“ වැනි අදහසකි. නමුත් මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණා කිහිපයක් ඇත.

එහි පළමුවැන්න නම් තරුණයා වැරදිකරුවෙකු වන නමුත් ඔහුගේ වැරැද්දට වගකිවයුත්තේ කවුරුන්ද යන්නයි. එනම් තරුණයා පදවා ඇත්තේ 1000CC කාණ්ඩයට අයත් යතුරු පැදියකි. සාමාන්‍යයෙන් ලංකාවේ ඇන්ජින් ධාරිතාව  අශ්වබල 450 (450CC) ට වඩා වැඩි යතුරුපැදි පෞද්ගලික පරිහරණය සදහා ලියාපදිංචි නොකරයි.  450CCට වැඩි යතුරුපැදි භාවිතයට අවසර ලබා දී ඇත්තේ පොලිසිය, හමුදාව වැනි ආරක්ෂක අංශ සදහා පමණි. ඒ අනුව අදාල තරුණයා 1000CC යතුරුපැදියක් ලංකාවට ආනයනය කළේ කෙසේද? ඒ සදහා අවසරය හෝ අවස්ථාව ලබා දී ඇත්තේ කවුරුන්ද? එය ලියාපදිංචි කිරීම සදහා අනුමැතිය ලබා දුන්නේ කවුද? ලියාපදිංචි කළේ කෙසේද? යන්න විමසිය යුතු පළමු කාරණාවයි. එනම් මෙම යතුරුපැදිය නියමිත පටිපාටියෙන් බැහැරව අනයනය හා ලියාපදිංචිය සිදු කළ යතුරුපැදියකි.

එමෙන්ම ලංකාවේ රථවාහන පොලිසිය තරම් නීතිය දන්නා පොලිසියක් ලොවෙත් නැත. එබැවින් KMT 990 දරන මෙම යතුරුපැදිය  අදාල ඇංජින් ධාරිතාව ඉක්මවූ යතුරුපැදියක් බව පොලිසිය නොදන්නේද? දන්නේ නම් අගලින් අගල රථවාහන පොලිසිය ස්ථානගත කර ඇති කොළඹ හා රාජගිරිය, බත්තරමුල්ල ප්‍රදේශයේ මෙම යතුරුපැදිය මෙතෙක් කල් ධාවනය කළේ කෙසේද? නොඑසේනම් මෙය පොලිසියට පමණක් නොපෙනෙන ලෙස යා හැකි අමුතු වර්ගයේ යතුරුපැදියක්ද? මේ අනෙක් පැනයයි.

මාධ්‍ය වාර්තා කළ පරිදි අනතුර සියැසින් දුටුවන් පවසන්නේ අනතුර සිදු වූ වහාම අදාල ජීප් රථය පළා ගිය බවත්, අනතුරට ලක් වූ තරුණය සමග පැමිණි අනෙක් තරුණයින් ජීප් රිය පසුපස හඹා ගොස් රථය අල්ලා ගැනීමෙන් පසු එය් බැසගත් පුද්ගලයා තමන් අමාත්‍ය පාඨලී චම්පක බව පැවසූ බවත්, බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස පවසා ගිය බවත්ය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පක සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති සටහනට අනුව මෙය ඇතැම් මාධ්‍ය හා සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ හිතූ හිතූ දේ සටහන් කිරීමකි.

මාධ්‍ය හෝ සමාජජාලා මගින් මෙළෙස පුද්ගලයින්ට හිතු හිතු දේ පළ කිරීමේ අයිතියක් තිබේද? මෙළෙස ප්‍රකාශයන් ලබා දුන් පුද්ගලයින්ගෙන් පොලිසිය ප්‍රකාශයන් සටහන් කර ගත්තේද? ඔවුන් පවසන්න් සත්‍යයක් ද? සත්‍යයක් නම් පොලිසිය අමාත්‍යවරයාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? ඔවුන්ගේ ප්‍රකාශ අසත්‍ය නම් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම හා අමාත්‍යවරයෙකුට එරෙහිව අභූත චෝදනා එල්ල කිරීමේ වරදට අදාල පිරිසට එරෙහිව පොලිසිය ගත් ක්‍රියාමාර්ග කුමක්ද?

අමාත්‍ය පාඨලී චම්පක පවසන පරිදි තමන්ට එරෙහිව විවිධ පුද්ගලයින් විසින් තම තමන්ගේ පෞද්ගලික වේදිකාවල හිද තීන්දු තීරණ ගනිමින් සිදු කළ සාවද්‍ය ප්‍රචාරයන් නම්, තමන්ගේ කීර්ති නාමය කෙළෙසීමට එරෙහිව අමාත්‍ය පාඨලී චම්පක මෙතෙක් ගත් ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි මොනවාද? නැතහොත් මේ සියලු මනුෂ්‍යයෝ උන්මත්තකයෝ යැයි කියා මේ චෝදනාවලට අකම්පිතවැ ඇල් වතුරත් නිවමින් වළදමින් සැතපෙන්නේද?

පිළිතුරු නොමැති ගැටළු රැසකි. මේ සියලුලට විසදුම් සෙවිය යුතුය. එසේ නොමැතිව එක් එක් අයගේ මතයන් හෝ තමන්ගේ බලපුළුවන්කාරකම් හෝ වෙනත් කුමන  සාධකයක් හෝ ඉදිරියට දමා සිය නිරුවත වසා ගැනීමට නොහැකි වනු ඇත. මක් නිසාද යත් මේ ඔවුන්ගේම වදනින් කියන්නේ නම් යහපාලනය රජයන්නා වූ සමයක් වන බැවැනි. නමුත් මේ සියල්ල විමසීමේදී මේ යහපාලනයද යමපාලනය ද යන්න නැවතත් සලකා බැලිය යුතුය.-

  • ​සජිත් සාරංග –