තම දරුවා පාසලකට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් සිය මූලික අතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට කරුණු දක්වමින් කුලියාපිටියේ මවක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත.
ඇය 2009 වසරේදී විවාහ වී ඇති අතර දරුවා ලැබී තිබෙන්නේ 2010.09.17 වැනිදාය. ඇගේ සැමියා 2015.09.24 වැනිදා ක්ෂය රෝගය උත්සන්න වීම හේතුවෙන් මරණයට පත්ව තිබේ. එහෙත් ඔහුගේ මරණයට හේතුව එච්.අයි.වී. ශරීරගත වීම බවට වැරදි කටකතාවක් ප්‍රචාරය වී තිබෙන බව ඇය පවසයි.
මෙම කරුණ පාදක කර ගෙන ඇයගේ දරුවා කිසිදු පාසලකට ඇතුළත් කර ගෙන නැත. විදුහල්පතිවරුන් මෙන්ම අධ්‍යාපන නිලධාරීන්ද ඇගේ දරුවාගේ ඉගෙනීමේ අයිතිය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර තිබේ.
තම දරුවාගේද රුධිර පරීක්ෂණ සිදු කළ බවත් දරුවා එච්.අයි.වී. ආසාදිතයකු නොවන බව එමගින් අනාවරණය වී තිබෙන බවත් පෙන්වා දෙන දරුවාගේ මව තමන්ගේ දරුවාට ඉගෙන ගැනීමට තිබෙන අයිතිය අහිමි කිරීම බරපතළ අසාධාරණයක් යැයි පෙන්වා දෙයි.


