ඊයේ (01) පැවැති 2016 රාජ්‍ය නාට්‍ය උළෙලට කළු පටි පැළඳ සහභාගි වූ නළු නිළියන් පවසා සිටියේ මීට පෙර වසරවලට සාපේක්ෂව මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා රාජ්‍ය අනුග්‍රහය නිසි පරිදි නොලැබුණු බවයි. රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සව වේදිකාව මතදී ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු සිය අප්‍රසාදය පළකළහ.
චාමික හත්ලහවත්තගේ “රජා මං වහලා“ වේදිකා නාට්‍යයේ රඟ පෑ සනත් විමලසිරි හා සරත් කරුණාරත්න 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම සම්මාන හිමිකර ගැනීමට සමත් විය.
එහිදී හොඳම නිළියට හිමි සම්මානය ද “රජා මං වහලා“ හි තේරුණි ආශංසා හා උමයංගනා වික්‍රමසිංහ අතර බෙදී ගියේ ඔවුන්ද සම සම්මාන ලාභීන් බවට පත්කරමිනි.
එසේම වසරේ හොඳම වේදිකා නාට්‍යයට හිමි සම්මානය ද “රජා මං වහලා“ නාටකයට හිමිවූ අතර විශිෂ්ඨතම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද චාමික හත්ලහවත්තගේට හිමිවිය.
‘අලුත් පරපුර‘ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙලේ වේදිකාවට පිවිසුනු ජෙහාන් ශ්‍රීකාන්ත විසින් තම විරෝධතාවයේ අරමුන පැහැදිලි කළේය. ඔහු එම අවස්ථාවේ සිදුකළ විශේෂ ප්‍රකාශය මෙසේය.
“චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයා ඇතුළු නාට්‍ය අනුමණ්ඩල සාමාජිකයනි, අපට ඔබ සමග පුද්ගලික තරහක් නැත. ඇත්තේ වේදනාවකි. මන්ද, මණ්ඩලයක මිස කලාවක අවශ්‍යතාවය ජාතියට තේරුම්කර දීමට ඔබට නොහැකි වීම ගැන වේදනාවකි.
අධ්‍යාපන ඇමතිතුමනි, (අද පැමිණ නෑ) අගමැතිතුමනි, ජනාධිපතිතුමනි, අපට ඇත්තේ වේදනාවක්… සහ තරහකි. ඒ ඔබ ගැන නොවේ, අප ගැනමය. අප ගැන තීන්දු තීරණ ගන්න ඔබව පත් කළ අප ගැනය. බොරු පොරොන්දු දී බිලිපිති දාගෙන මාලු බාන්නට ඉන්න අය ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබන්නේ සංස්කෘතික අමාත්‍යංශය යටතේ පවතින ජාතික කලා මණ්ඩලය යටතේ පවතින නාට්‍ය අනුමණ්ඩලය විසිනි. මෙම ආණ්ඩුව පත්වීමට පසුව කලා මණ්ඩලයත් නාට්‍යඅනුමණ්ඩලයත් සංස්කෘතික අමාත්‍යංශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට පවරනු ලැබිණි. ඒ අනුව රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීමේ වගකීමද අධයාපන අමාත්‍යංශයට පැවරුණි. මේවා අප ගත් තීරණ නොව, ඔබ ගත් තීරණයි. එවැනි තීරණ ගන්නට හේතු වූ විවිධ බරසාර හේතුන්ද ඔබට ඉදිරිපත් කළ හැකිය. හේතුව කුමක්වුවත් අප දැන් ඒ ඵලය ඉතාමත් හොදට බුක්ති විදිමින් සිටිමු. මෙම තීරණයත් සමග ප්‍රථම වතාවට රාජ්‍ය නාටය උළෙල නමැති දරුවා වටා හුණුවටයක් ඇද දෙපැත්තට ඇද ආදරය ප්‍රකාශ කිරීමට අම්මාවරු දෙදෙනෙක් ඉදිරිපත්ව සිටී. ඒ සංස්කෘතික අමාත්‍යංශය නමැති වැදූ අම්මා සහ අධ්‍යාපන අමාත්‍යංශය නමැති හදන්න ඉන්න අම්මාය. සංස්කෘතික අමාත්‍යංශය විසින් හිටිහැටියේම නාට්‍යකරුවන් කෙරෙහි ඔවුන් තුළ ඇති තදබල ආදරයත් රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරන්නට ඔවුන් තුළ ඇති උද්‍යෝගයත් පවසන්න රැස්වීමක්කැදවනු ලැබුවා. කරන්නට යන බලවත් අසාධාරණයට විරුද්ධ වීමෙන් තමන්ට නාට්‍යකරැවන්ට සෙනෙහස පෑමට අවස්ථාව දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.
මේ කිසිම තීරණයක් ගත්තෙ අපි නෙවෙයි. අපෙන් අහලත් නෙවෙයි. අනික මීට ඉස්සර වෙලා රාජය නාටය උලෙල හොදයි කියන්න පුලුවන් කෙංගෙඩියක් තිබුනෙත් නෑ. ඒක තමයි ඇත්ත. ගොරවනීය රාජ්‍ය නාටය උලෙලක් කවුරුන් විසින් සංවිධානය කළත් අපට නම් කමක් නෑ. නාට්‍යකරුවන් හැටියට අපි වෙන මොනවා කියන්නද?
රාජ්‍ය නාට්‍ය උලෙල සංවධානය කිරීම පිළිබද අලුත්ම අත්දැකීම විද ගන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපට කැදවිමක් ලැබුණා. අධයාපන ඇමැතිවරයා, කලා මණ්ඩලයේ සබාපතිවරයා නාට්‍යකරුවන් එකට එක්කළ හමුව නාට්‍ය කලාවේ සිහින දලු දමන විචිත්‍රවත් හමුවක්. නමුත් ඒ අත්වලට සෑහෙන කාලයක් ගිහිල්ලත් ඒ මුදල් මාරුකරගන්න බැරි වුනා. කඹ ඇදිල්ලෙන් පැරදුණු සංස්කෘතික අමාත්‍යංශය අත්තනෝමතිකව මුදල් රදවා තබාගත්තා. ඒ වෙනුවට ඊළග වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට ඉල්ලුම්පත් කැදවීමේ දැන්වීම් අන් කවරදාටත් වඩා උනන්දුවෙන් පළ කළා. මේවා තනිකරම කුහකකම් මත පදනම් වෙලා ගත් තීරණ නොවේද? රාජ්‍ය නිලධාරින් එසේ කිරීම බලය අවභාවිතකිරීමක් නොවේද? නව සංවිධායකයන්ට මදල් ලබාගන්නට නොහැකි වුණා. අසාධාරනයට විරුද්ධවන්නට තිබුනු නොහැකියාව, වුවමනාවක් නැති කම වගකීම්විරහිතභාවය, උද්දච්ඡභාවය නිසා එකිනෙකාට චෝදනා කිරීම හැර වෙන යමක් කරන්න ඔවුන්ට බැරි වුණා. අඩ්ම තරමින් නාට්‍යකරුවන්ගෙ දුරකතන අංක ඒ අමාතයංශයෙන් මේ අමාත්‍යංශයට ලබා නොදෙන තරමට මේ අමාත්‍යංශ අතර විරසකය දුරදිග ගියා. අඩුම තරමින් ඇමැතිවරුන්ටවත් ඒ ප්‍රශ්න විසදන්නට නොහැකි වුණා. නැතිනම් ඔවුන් ඒ ගැන නොතකා හැරියා.
ඒ අනුව වෝටර්ස් එජ් සිට BMICH වෙතටත් කින්ස්බරි සිට හිල්ටන්, ගලධාරි, බිෂොප් වෙතටත්අනතුරුව බ්‍රිටිෂ් කොලෙජ්-ශාලාවටත්, ඉන්පසුව අප දැන් සිටින ‘නාඩා“ දක්වා නාටයකරුවන්ගේ ගෞරවය පල්ලම් බැස්සා. මේ ප්‍රශ්නය, රාජ්‍ය, කලාව කෙරෙහි දක්වන ආකල්පයේ තවත් එක පිළිබිඹුවක් පමණයි.විවිධ ස්වරෑපයෙන් රාජය නාට්‍ය උළෙලේ ගොරවය අවප්‍රමාණ කිරීමේ රාජ්‍ය කලාව කෙරෙහි දක්වන මේ පහත් පෙළේ ආකල්පයයි.
නාට්‍යකරුවන් ලෙස කටවසාගෙන සිටින තරමට ඔබට අපව හිතේ හැටියට අපවාදයට ලක් කළ හැකිය. අපි මේ උළෙල වර්ජනය නොකරමු. ඔබට වැදගත් නොවුණාට අපට මේ උළෙල බොහෝ වැදගත්ය. මෙම උළෙලේ වේදිකාගත වන්නේ අපේ නාට්‍යයයි. ඔබ නාට්‍යයට ආදරය නොකළත් අපි නාට්‍යයට ආදරය කරමු. මෙහිදී සම්මාන ලබන්නේ හෝ නොලබන්නේ අපගේ දක්ෂතාවන්ය. ඔබ ඒ දක්ෂතාවලට ගරු නොකළාට අපි ඒ දක්ෂතාවලට ගරු කරමු.
ඊයේ මෙන් අදත් අද මෙන් හෙටත් අපේ ගරුත්වය වෙනුවෙන් අපි අරගල කරමු. අනාගත නාටයකරුවන් වෙනුවෙන් අපේ මේ අරගලය දිගින් දිගටම කරමු. ස්තුතියි.“


