‘කලකදි වහ – කලකදි රහලු‘ රනිල් වරාය නගරයට චීනයට අතවනයි

port city

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් ඒ සඳහා චීන සමාගමම යොදවා ගන්නා බවත් ආණ්ඩුව පළමුවරට නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ. ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 46 වැනි සැසිවාරයට සහභාගීවීමට ගොස් සිටි අගමැතිවරයා එහිදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවැසීය.

රාජපක්ෂ පාලන සමයේදී වරාය නගර ව්‍යාපෘතිය චීන සමාගමක් යටතේ ආරම්භ වන විට එක්සත් ජාතික පක්ෂය එම ව්‍යාපෘතියට මෙන්ම චීන සමාගමටද විරෝධය පෑවේය. තමන් බලයට පත්වූ පසු වරාය නගර ව්‍යාපෘතිය අත්හිටවන බවටද එක්සත් ජාතික පක්ෂය පොරොන්දු විය. එහෙත් එය දැන් පෙර පරිදිම දියත් කිරීමට මෙම ආණ්ඩුව තීරණය කර තිබේ.

වරාය නගරයෙන් සිදු වන පරිසර හානිය නිසා ධීවර කර්මාන්තය විනාශ වන බව කියමින් ධීවරයෝ පසුගිය සතියේද විරෝධතා ව්‍යාපාර පැවැත්වූහ. මීට අමතරව වරාය නගරය සඳහා ගොඩකරන භූමි ප‍්‍රමාණය පවා වංචනිකව සඟවන බවට චෝදනා එල්ලවී තිබේ. 2011 වසරේදී  ඉදිරිපත් කළ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ ගොඩකරන භූමි ප‍්‍රමාණය ලෙස දැක්වෙන්නේ හෙක්ටයාර් 200කි. පසුව 2012 වසරේදී අදාළ චීන සමාගම එහි විශාලත්වය හෙක්ටයාර් 233ක් බව පවසා තිබුණි. අලූත් ආණ්ඩුව බලයට ආ පසු 2015 දෙසැම්බර් ඉදිරිපත් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ පරිපූරකයට අනුව වරාය නගරයට ගොඩ කරන භූමිය හෙක්ටයාර් 269කි. මේ අනුව නව ආණ්ඩුව වරාය නගරය අවලංගු නොකළා පමණක් නොව සාගරය ගොඩකරන ප‍්‍රමාණය හේක්ටයාර් 36කින් ඉහළ නැංවීය. මෙම තත්වය හමුවේ විරෝධතා ක‍්‍රියාමාර්ග උත්සන්න කරන බව අප සමඟ අදහස් දැක්වූ ධීවර සංවිධාන එකමුතුවේ ප‍්‍රකාශකයකු පැවැසීය.